පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, February 26, 2015

ජනපති ඉදිරියේ තිරුපති අගුල් වැටෙයි - Tirumala temple lock broken for Sri Lankan President



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දීය සංචාරය අතරතුරදී තිරුපති කෝවිල වැඳපුදාගෙන ඒමට ගිය බැව් ඉන්දියාව ඇතුළු බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකොට තිබිණි. ඔහු තිරුපති හෙවත් ‛තිරුමාල ශ්‍රී වෙන්කතේෂ්වර කෝවිල’ වෙත ගොස් එහි පූජාවකට සහභාගී වන්නට සූදානමින් සිටි අවස්ථාවේ සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ ඉන්දියාවේ සුප්‍රකට පුවත්පතක් වන ‛ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ හි වෙබ් අඩවියේ වාර්තාකොට තිබිණි. සිදුවීම මෙසේ ය. 

මෙම සිදු ඇත්තේ පසුගිය 18 වැනි බදාදා අලුයම 2.15ට පමණය. තිරුපති කෝවිලේ පූජකවරු ‛බංගරු වාකිලි’ හෙවත් ‛රන් දොරටුව’ විවෘත කිරීමට පැමිණෙන්නේ මේ වේලාවටය. වෙන්කතේෂ්වර දෙවිඳුන් වැඩ සිටින කුටියට ඇතුලුවීම සඳහා ඇති අවසන් දොරටුව මෙය වේ. දෙවිඳුන් වෙනුවෙන් දෛනිකව පැවැත්වෙන ප්‍රථම පූජාව වන මෙය ‛සුප්‍රාභතම් සේවා’ යනුවෙන් හඳුන්වනු ලබයි. එහි අරමුණ වන්නේ දෙවිඳුන්ව අවදිකරවීමය. 

මෙම පූජාව දෛනිකව අලුයම 3 ට පැවැත්වෙන අතර එයට මිනිත්තු 45කට පෙර පූජකවරු මෙතැනට පැමිණෙති. ඒ කුටිය විවෘතකොට පිරිසිදුකිරීම සඳහා ය. රන් දෙරටුව විවෘත කිරීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද යතුරු තුනක් තිබෙන අතර ඒවා එකම අවස්ථාවේදී අගුලු තුළට ඇතුළු කළ යුතුය. පසුගිය බදාදා සිදුවූයේ මෙසේ ඇතුළු කරන ලද මුල්ම යතුර අගුල තුළ සිරවීමය. එය ගළවා ගැනීමට නොහැකි වූ අතර අවසානයේ අගුළ බිඳ දෙැරටුව විවෘත කරන්නට බලධාරීන්ට සිදුවිය. 

සුප්‍රභාත්ම පූජාවට සහභාගී වනු පිණිස සිරිසේන ජනපතිවරයා සහ එම මහත්මිය ඒ වන විටත් දොරටුව අභියස පැමිණ සිට ඇත. අගුල සිරවුණු විගස කෝවිලේ බලධාරීහු වහා ක්‍රියාත්මක වී කියතකින් අගුල කපා අලුයම 3ට සුප්‍රභාත්ම පූජාව පැවැත්වීම සඳහා අවස්ථාව සළසා දී තිබේ. 

මෙයට පෙර දිනයේ මධ්‍යම රාත්‍රීයේ දෙවිඳුන් සඳහා දෛනිකව පවත්වනු ලබන අවසන් පූජාව වන ‛ඒකාන්ත සේවා’ අවසන් කිරීමෙන් පසුව ද මෙම අගුල් හොඳින් ක්‍රියාත්මක වූ බව එහි නියෝජ්‍ය විධායක නිලධරයෙක් වන චින්නාම්ගිරි රමානි පැවසූයේය. “නමුත් කුමක් හෝ හේතුවකට උදේ මේ අගුළ හිරවුණා නේ.” ඔහු පැවසූයේය. 

කෝවිලේ බලධාරීන් පවසන්නේ මෙම අගුල් විශේෂයෙන් තනවන ඒවා බවත්, එවැන්නක් සිදුවූ මුල්ම අවස්ථාව මෙය බවත් ය. “නැවතත් මෙවැනි යාන්ත්‍රික දෝෂ ඇති නොවීමට අප වග බලාගන්නවා. ” යැයි රමානා වැඩිදුරටත් පවසා සිටියේය. මෙම සිදුවීම නිසා දෙවිඳුන් වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්විය යුතු යැයි බැතිමතුන් අතර අදහසක් ඇති වූ මුත්, කෝවිල් බලධාරීන් පැවසූයේ එවැන්නක් අවශ්‍ය නොවන බවය. මෙම සිදුවීම නිසා සුප්‍රාභාත්ම පූජාව ප්‍රමාද වූ බවට ඇතැමුන් ප්‍රචාරයක් කළ ද එවැන්නක් සිදු නොවූ බව රමානි පවසා සිටියේය. 

‛ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ වෙබ් අඩවියට අමතරව ‛ඉන්දියා ටුඩේ’ ‛ද හින්දු’ ආදී වෙබ් අඩවි ද මෙම සිදුවීම වාර්තා කොට තිබිණි. මෙම ප්‍රධාන වෙබ් අඩවිවලට අමතරව තවත් වෙබ් අඩවි ගණනාවක ද මෙම පුවත් පළව තිබුණි. 

ජ්‍යොතිෂය සහ අනෙකුත් ගුප්ත කටයුතු කෙරෙහි  පසුගිය කාලය මුළුලේම බොහෝ දෙනාගේ අතිශය විවේචනයට  එල්ල වූ බැව් අපි දනිමු. නමුත් දැන් පෙනෙන පරිදි යළිත් සිදුවන්නේ අතීතයේ සිදු වූ දෙයමය. ජ්‍යොතිෂයෙන් අනාවැකි පළකරන්නට නොහැකි බැව් දැන දැනත් යළිත් අනාවැකිකරුවන් මතුවෙමින් තිබෙන අතර ඔවුන්ට පෙර පරිදිම ප්‍රසිද්ධ මාධ්‍යවලින් සිය ‛කෙප්ප’ ඇදබෑමට අවස්ථාව සළසා තිබේ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වජ්‍රයක් අතේ දරා ජන ප්‍රසාදයක් දිනාගන්නට උත්සාහ කළ බැව් අපි දුටිමු. ඒ පිළිබඳ දේශපාලන නායකයන් විවිධ මට්ටමෙන් විවේචනය එල්ළ කරනු ලැබිණි. කෙසේ නමුත් වර්තමාන ජනාධිපතිවරයා ද එවැන්නක් අතේ දරා සිටිනු දක්නට හැකි විය. තිරුපති ගිය මහින්ද රාජපක්ෂ පිළිබඳ අවඥාවෙන් කතා කළ මාධ්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා තිරුපති ගොස් සිදුවූ අකරතැබ්බය පිළිබඳ මාධ්‍යවලින් කතා කරනු නොඇසිනි. 

අවසානයේ පැවසිය හැක්කේ කෙතරම් විවේචනය එල්ල වුව ද ගුප්ත දේ පසුපස යන්නට ඇති ආශාව අපේ රටේ මිනිසුන්ගෙන් කිසිදා දුරස් නොවන බවය. එබැවින් අපේ රට තවදුරටත් පාලනය වනු ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයෙන් සහ දෙවිවරුන්ගේ පිහිටෙනි. 

අතිරේක කියැවීම්

6 comments:

  1. කෝවිලත් අවුල් යන්න අැති ජනාධිපති අදුරගන්න බැරුව.. කලින් ඒක්කෙනා හිටියෙම ඔහෙනේ.......

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙත් මෙහෙන් යන අයව දැකලාම එපා වෙලා දෙවියොම දොර අගුල් දාගන්න අැති කියලයි.

      Delete
  2. සමාරවිට දෙය්යො.් තමිල්නාඩු ඩෑල් එකක්ද දන්නෑ නෙව හිහි

    ReplyDelete
    Replies
    1. තමිල්නාඩු තමයි පැහැදිලිවම. මොකද කෝවිලේ අකුරුත් දෙමළ නේ.

      Delete
  3. ආයෙත් කෙප්ප ඇදබාන්න අරන්. එක්කෙනෙක් කියනව මහින්දට ආයෙ එන්න බැරිලු. ඒක කියන්න ඕනම කෙනෙකුට පුළුවන්. ජ්‍යොතිෂය හදාරන්න ඕන. එතකොට මේතරම් මිනිස්සු ගොනාට අන්දන්න බෑ.
    ලිස්ට් එකේ අංක එකට එන ග්‍රහ පිහිටීම් නෑ.පහුගිය කාලෙ බඩගැත්තරයො ටිකක් කොයිතරක් කැත විදියට මිනිස්සු ඇන්දුවද කියල පේන එක උදාහරනයක් ඒක.
    ට්‍රැෆික් ප්‍රශ්න වලින් බේරෙන්න සුබ වෙලාවට ගාල්ලෙන් එනවලු.එහෙමනම් ගාලුපාරෙ ඔක්කොම ගෙට්යින් එළියට බහින්න ඕන එකම වෙලාවක.
    තක්කඩිය ගාල්ලෙන් එන්නෙ පාන්දරනෙ. කළුතර කෙනෙක් ගෙයින් එළියට බහින්නෙ ඊට පස්සෙ ,මොරටුව හරියෙ කෙනෙක් ඊටත් පස්සෙ. මේ තුන්දෙනාම එකම වෙලාවක ගාලු පාරෙ සෙට් වෙන්නෙ. එතකොට වෙලාවල් තුනක තුන්දෙනා එළියට බැහැල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. මොන විදිහේ පාලනයක් ආවත් ගුප්ත විශ්වාස සහ සෞරග්‍රහ මණ්ඩලයෙන් අපේ කට්ටියව ඈත් කරනවා බොරු.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න