පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, August 5, 2015

නරක් නොවී පවතින සාන්තුවර දේහ - Incorrupt Bodies of the Saints

බර්නදෙත් සාන්තුවරියගේ දේහය

ලෝකය යනු සොබා දහමේ දායාදයක් වුව ද සොබා දහම ඉක්මවා යන්නේ යැයි පෙනෙන සිදුවීම්වලින් ද එය පිරී පවතී. ලෝකයේ ස්වභාවය වන්නේ යමක් ඇතිවීමත් කාලයක් එය පැවතීමෙන් පසු නැතිවී යාමත්ය. නමුත් මේ ධර්මතාවය ඉක්මවා යන සිදුවීම් ද වාර්තා වේ. ඒ අතුරින් එකක් වන්නේ ලෝකයේ විවිධ ස්ථානවලින් අසන්නට ලැබෙන නරක් නොවන ස්වභාවයේ පවතින විවිධ ආගම්වලට අයත් සාන්තුවරුන්ගේ සහ සාන්තුවරියන්ගේ දේහයන්ය. ඔවුන් මියගොස් බොහෝ කල් ගත වුව ද එම මළ සිරුරු නරක් වී නැත. ඔවුන් මිය යන අවස්ථාවේ සිටි ස්වභාවයම ඒවායෙන් දිස් වේ. මේ නිසා මෙම සාන්තුවරු සහ සාන්තුවරියන් දැක බලා වැඳුම් පිදුම් කිරීමට ලෝකයේ නන් දෙසින් බොහෝ සංචාරක  පිරිස් පැමිණෙති. 

බර්නදෙත් සාන්තුවරියගේ මුහුණ

ප්‍රංශයේ නෙවර්ස් කන්‍යාරාමයේ ප්‍රදර්ශනයට තබා ඇති බර්නදෙත් සාන්තුවරිය මේ ආකාරයට මරණයෙන් පසු නරක් නොවුණු දේහයක් ලෙස ලොව පුරා වඩාත්ම ප්‍රකටව පවතී. මෙම සාන්තුවරිය මියගොස් අවුරුදු 135ක් පමණ ගත වුව ද ඇයගෙන් දිස්වන්නේ නින්දේ පසුවන පෙනුමකි. මෙම සාන්තුවරිය මිය ගිය අවස්ථාවේ දී භූමදානය කළ අතර ඇගේ දේහය දෙවරක්ම ගොඩගනු ලැබිණි. මෙසේ දෙවැනි වර ගොඩගත් අවස්ථාවේදී ඇගේ මුහුණට පමණක් ඉටිවලින් යම් ආවරණයක් ලබා දී තිබේ. එසේ කොට ඇත්තේ පළමු වර ගොඩගැනීමේදී මුහුණ සේදීමේදී යම් හානියක් සිදු වූ බැවිනි. ඇගේ සිරුරින් ශුද්ධ වස්තුවක් ලෙස ඉළ ඇටයක් ලබා ලත් අවස්ථාවේ එය සිදු කළ වෛද්‍යවරයා පවසා සිටියේ ඒවා ඒවන විටත් නම්‍යශීලී ලෙසින්ම පැවති බවය. 

ෆ්‍රාන්සිසි ෂේවියර් සාන්තුවරයාගේ දේහය

ඉන්දියාවේ ගෝවේ කතෝලික දේවස්ථායේ තැන්පත් කොට ඇති ෆ්‍රාන්සිසි ෂේවියර් සාන්තුවරයාගේ දේහය ද මෙසේ නරක් නොවී පවතින තවත් එක් දේහ අතර සුවිශේෂී තැනක් උසුලන්නකි. එය කතෝලික සාන්තුවරයෙක්ට අයත් වුව ද එහි ඇත්තේ අප රට අතීතයේ සිටි පැවිදි පඬිරුවනක් වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ දේහය යන මතය ද ප්‍රචලිතව පැවතීමය. 

(මේ සම්බන්ධව ලියැවුණි ලිපි කිහිපයක් කියවන්න.


ෆ්‍රාන්සිසි ෂේවියර් සාන්තුවරයාගේ මුහුණ

මේ ආකාරයට නරක නොවුණු සාන්තුවර දේහයන් බොහොමයක් පිළිබඳ ලොව පුරා විවිධ ස්ථානවලින් වාර්තා වේ. මෙවැනි දේහයන් බොහෝ විට මුල්වරට හමු වී ඇත්තේ අහම්බෙනි. සාන්තුවර දේහ බොහෝ විට එක් තැනකින් තවත් ස්ථානයකට රැගෙන යන අවස්ථාවන් දක්නට ලැබේ. නමුත් මෙවැනි අවස්ථාවලදී ගොඩගනු ලැබූ සියලුම දේහ නරක් නොවුණු තත්වයේ පැවතී නැත. නමුත් කිහිපයක් පමණක් නරක් නොවී තිබෙන්නට හේතුව කිසිවකු දන්නේ ද නැත. ඇතැමුන් විශ්වාස කරන්නේ එම සාන්තුවරයා ජීවත්ව සිටි කාලයේ ඉතා භක්තිමත් ජීවිතයක් ගත කළ බැවින් එහි බලයෙන් මළ සිරුර නරක් නොවී පවතින බවය. ඇතැමකු විශ්වාස කරන්නේ භක්තිමත් බව කෙසේ වුව ද මෙය ඍජුවම දෙවියන්ගේ මැදිහත්වීමෙන් සිදුවන්නක් බවය. 

තවත් පිරිසක් පවසන්නේ මෙයට යම් යම් ස්වභාවික හා් භෞතික සාධක බලපාන බවය. භූමදාන කරන ස්ථානයේ පවතින සිසිල් බව හෝ වියළි බව ද මළ සිරුරු නරක් නොවී පවතින්නට හේතු වන බව පැවසේ. 

නරක් නොවුණු සාන්තුවර දේහ පිළිබඳ කතාව ක්‍රි.ව. 177 තරම් අතීතයකට දිව යයි. ඒ එම වසරේදී හමුවන්නේ ආගමේ නාමයෙන් ජීවිතය කැප කළ සිසිලියා නම් සාන්තුවරියගේ දේහයයි. ඇගේ දේහය ක්‍රි.ව. 822 දී සහ 1599 දී ස්ථාන දෙකකට ගෙන යන ලදී. ඒ සෑම අවස්ථාවකදීම දුටුවේ එම දේහ නරක් නොවී පැවති බවය. මේ ආකාරයට සියවස් ගණනාවක් තිස්සේ සාන්තුවර දේහ සිය ගණනකටත් වැඩි ප්‍රමාණයක් නරක් නොවී පැවති බව වාර්තා වී තිබේ. 

ඇග්නස් සාන්තුවරියගේ දේහය

ක්‍රි.ව. 1317 දී මිය ගිය ඇග්නස් සාන්තුවරියගේ දේහය නරක් නොවී තිබුණා පමණක් නොව ඇගේ දෙපාවලින් හා අත්වලින් සුවඳැති දියරයක් ද ගලා එනු වාර්තා විය. ක්‍රි.ව. 1726 දී එවකට සිටි 13 වැනි බෙනඩික්ට් පාප් වහන්සේ විසින් ඇය මුණිවරියන්ගේ නාමාවලියට ඇතුළත් කරනු ලැබිණි. 

කැතරින් සාන්තුවරියගේ දේහය


ක්‍රි.ව. 1463 දී බොලොන්‍යාවේ සිටි ඉතාලි ජාතික කැතරින් සාන්තුවරිය වයස අවුරුදු 49 දී මිය ගියාය. ඇය එම්බාම් නොකොට මිනී පෙට්ටයක හෝ තැන්පත් නොකොට භූමදාන කරනු ලැබිණි. ඇය භූමදාන කළ සොහොන් පිටියෙන් වාර්තා වූ විවිධ අසාමාන්‍ය සිදුවීම් නිසා දින 18කට පසු ඇගේ දේහය ගොඩගනු ලැබිණි. ඒ වන විටත් ඇගේ දේහය නම්‍යශීලීව මෙන්ම නරක් වීමකට ලක් නොවී පැවතිණි. ඇගේ දේහය බොලොන්‍යාවේ පුවර් ක්ලෙයාර්ස් දෙව්මැඳුරට රැගෙන ගිය අතර එය අද දක්වා ප්‍රදර්ශනය කෙරේ. ඇගේ දේහය අද ද ප්‍රදර්ශනයට තබා ඇත්තේ අසුනක හිඳුවා ජීවමානව සිටින ආකාරයෙනි. 

මෙවැනි තවත් සාන්තුවරියක වන්නේ ප්‍රංශයේ බර්ගුන්ඩාවල උපන් කැතරින් ලැබෝර් (ක්‍රි.ව. 1806 - 1876) සාන්තුවරියයි. ඇගේ දේහය 1933 දී ගොඩ ගනු ලැබූ අතර එහිදී දුටුවේ එය නරක් නොවී පවතින බවය. එය අද පැරීසයේ රු ඩු බැක් හි අප සූර්ය ස්වාමි දියණියගේ දේවස්ථානයේ ප්‍රදර්ශනය පිණිස තැන්පත් කොට තිබේ. 

මෙවැනි තවත් එක් සිදුවීමක් 1993 වසරෙන් වාර්තා විය. අර්ධ වශයෙන් පක්ෂාගාත රෝගයට ගොදුරුව සිටි 56 හැවිරිදි නොහෙඩ් එල්  ෂාමි නම් කාන්තාව දිනක් මැරොනයිට් නම් ආගමික කොට්ඨාශයට අයත් පූජකවරු දෙදෙනෙක් තම යහන අසළ සිටගෙන සිටින ආකාරය සිහිනෙන් දුටුවාය. ඔවුන් ඇගේ ගෙළෙහි යම් සැත්කමක් සිදු කළ අතර ඇය නින්දෙන් අවදිවන විට දුටුවේ ගෙළෙහි තුවාල දෙකක් පවතින බවය. ඇය එයින් පසුව පක්ෂාගාත රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලැබූ අතර යළි ඇවිදින්නට ද හැකියාව ලැබිණි. ඇය සිහිනෙන් දුටු එක් පූජකවරයකු කවුදැයි පසුව හඳුනාගන්නට ඇයට හැකි විය. ඒ චාර්බල් නම් පූජකවරයාය. ඔහු 1977 ඔක්තෝබර් 9 වැනිදා වතිකානුවේ දී මුණිවර ලැයිස්තුවට ඇතුළත් කළ සාන්තුවරයෙක් විය. 

මෙවැනි තවත් බොහෝ සිදුවීම් ලෝකයේ විවිධ ස්ථානවලින් වාර්තා වෙයි. මේවා නරක් නොවී පැවතීමට ඉහත තැනක සඳහන් කළා සේ භූමදාන ස්ථානයේ පවතින වියළි බව, මළසිරුරක් නරක්වන්නට පටන් ගැනීමේදී අවට පරිසරයේ පවතින තෙතමනය නිසා සිරුරු පටකයේ නිපදවෙන ඉටි, එම්බාම් කිරීම සහ ඒ සඳහා යොදා ගත් ද්‍රව්‍ය, වෙනත් පාරිසරික හේතු ආදිය බලපාන්නට පුළුවන. පැරණි පිරමීඩවල මළ සිරුරු නරක් නොවී පැවතීමට එක් හේතුවක් යැයි පැවසනේනේ  විවිධ ඖෂධ වර්ග මගින් කරන ලද එම්බාම්කිරීම හැරුණු විට පිරමීඩ  තුළට ඉතාමත් අඩුවෙන් ඔක්සිජන් ලැබීම හෝ කිසි සේත් ඔක්සිජන් නොලැබීම ද එක් හේතුවක්  බව  සොයාගෙන තිබේ. කෙසේ වෙතත් සැබවින්ම මේවාට හේතු සොයන්නට බොහෝ දෙනෙකු පෙළඹෙන්නේ නැත. එයට හේතුව මේවාට විද්‍යාත්මක අර්ථකතන ලබාදීමෙන් පසු ජනතාව අතර පවතින විශ්වාසයන්ට පහර ගැසීමෙන් සිදුවන සමාජ අනර්ථය මේවායේ සැබෑ හේතු හෙළිකරගැනීමෙන් ලබාගන්නා දැනුමට වඩා වැඩි විය හැකි බැවිනි. 







2 comments:

  1. මාත් කියවලා තියෙනවා මලසිරුරක් තෙතමනයට ලක් උනාම මේද මිදීම නිසා නරක් නොවී තියෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් එ්ක ඇත්ත. ඒත් ආගමික භක්තිකයන් කැමති මේවා ආශ්චර්යමත් දෙයක් නිසා සිදුවෙනවා යැයි පිළිගන්නයි. ඒ නිසා බොහෝ දෙනෙක් මේවාට විද්‍යාත්මක හේතු පළකරන්න ඉදිරිපත් නොවෙන බව පේනවා.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න