පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, September 12, 2015

මේ ආදරයයි නාට්‍යයේ අභිමන්යූ ලෙස රඟන සුමීත් සච්දේව් - Sumeet Sachdev as abhimanyu in yeh hai mohabbatein


‛අභිමන්යු’ කියන්නේ අපේ රටේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය චරිතයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. ‛මේ ආදරයයි’ නමින් සිංහල හඬ කවා ‛සිරස’ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන ‛යේ හායි මොහාබතීන්’ නාට්‍යයේ ඉෂිතාගේ පැරණි මිතුරකු ලෙස අප හමුවට එන ඔහු ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. 

‛මේ ආදරයයි’ නාට්‍යයේ ‛අභිමන්යු’ ලෙස රංගනයෙන් දායක වන්නේ ‛සුමීත් සච්දේව්’. 1976 මාර්තු 18 වැනිදා දිල්ලියේදී ඉපදී එහිම හැදී වැඩුණු ඔහු 39 හැවිරිදි වියෙහි පසු වෙනවා. තිදෙනෙකුගෙන් යුත් පවුලේ ඔහු මද්දුමයා. ඔහුට සෝනියා නමින් වැඩිමහළු සොයුරියක් වගේම සන්දීප් නමින් බාල සොයුරකුත් ඉන්නවා. ඔහුගේ බාල සොයුරු සන්දීප් ඉන්දියාවේ අධික තරබාරු අය තෝරන රියැලිටි තරගාවලියක පළමු අදියරේ ජයග්‍රාහකයෙක් ද වනවා. 

සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ රංගන ශිල්පියකු හා නිෂ්පාදකයකු ලෙස ප්‍රසිද්ධ වුණත් ඔහු වෘත්තියෙන් ගෘහනිර්මාණ ශිල්පියෙක්. අපේ රටේ ප්‍රේක්ෂකයන් ඔහු හඳුනාගන්නේ ‛අභිමන්යු’ ලෙසින් වුවත්, ඔහු ඉන්දියාවේ ජනප්‍රියත්වයට පත්වන්නේ ‛ක්‍යුන්කි සාස් භි කභි බාහු ථි’ කියන ටෙලිනාට්‍ය මාළාවේ තුල්සි විරානිගේ වැඩිමහලු පුතු වන ‛ගවුතම් ‛ගොම්සි’ විරානි ලෙසයි. එහි ඔහුගේ මව ලෙස රංගනයෙන් දායක වන ස්ම්‍රිති ඉරානි ( ඇය ගැන මෙම ලිපිද කියවන්න - සබැඳිය 1 සහ සබැඳිය 2) කියන්නේ වර්තමානයේ ඉන්දියාවේ ප්‍රකට දේශපාලන චරිතයක්. ඒ වගේම ඇය සුමීත් සච්දේව්ගේ පාසලේ එකම පංතියේ ඉගෙන ගත් ඔහුට වඩා දින පහක් ලාබාල තැන්තියක් බවත් සඳහන් කළ යුතුයි. 

සච්දේව් සිය රංගන ජීවිතය ආරම්භ කරන්නේ ඉන්දියාවේ කාර්ගිල් යුද වීරයන් සැමරීම වෙනුවෙන් ආමීර් රීසා හුසේන් නිෂ්පාදනය කළ, 2000 වසරේදී තිරගත වුණු  ‛ද ෆිෆ්ටි ඩේස් වෝර්’ නම් චිත්‍රපටයෙන්. 

ඔහු පසුව සාහිල් විරානිගේ ‛ක්‍යුන්කි සාස් භි කභි බාහු ථි’ හි රංගනයෙන් දායක වීම සඳහා වූ මූලික පරීක්ෂණයට සහභාගී වුවත් තෝරා ගැනුනේ නැහැ. නමුත් එම ටෙලිනාට්‍යයේම වෙනත් චරිතයක් සඳහා නැවත ඔහුට කැඳවීමක් ලැබෙනවා. එහිදී  ලැබෙන ‛ගොම්සි’ කියන චරිතය ඔස්සේ ඔහු ඉන්දියානු ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට පත්වන්නට සමත්වනවා. මෙම ටෙලිනාට්‍යය 2000 වසරේ සිට 2008 දක්වා කාලය තුළ ඉන්දියාවේ විකාශනය වුණා. 

ඔහු ඉහත නාට්‍යය වෙනුවෙන් රංගනයෙන් දායකවන කාලයේදීම ‛ක්‍යා හාඩ්සා ක්‍යා හකීකත්’ කියන ටෙලිනාට්‍ය මාළාවේ ද පෙනී සිටියා. එය 2000 වසරේ සිට 2004 දක්වා විකාශනය වුණු ටෙලි නාට්‍යයක්. කෙසේ නමුත් ඔහු එහි පෙනී සිටියේ ‛රෝහිත්’ නම් වූ දුෂ්ට චරිතයකට. ඉන්පසු ද ඔහු තවත් දුෂ්ට චරිතයක් වෙනුවෙන් රංගනයෙන් දායක වන්නට තීරණය කළා. ඒ ‛කාහින් හෝගත්’ නම් ටෙලිනාට්‍ය මාළාවේ ‛ස්වායම්’ කියන චරිතය වෙනුවෙන්. නමුත් පිටකොන්දේ ඇති වූ ආබාධයක් නිසා ඔහුට එම චරිතය ප්‍රතික්ෂේප කරන්නට සිදු වුණා. 

2007 වසරේ සිට 2008 වසර දක්වා විකාශනය වුණු ‛ඛ්වායිෂ්’ ටෙලිනාට්‍ය මාළාව වෙනුවෙන් ‛කබීර් ඛාන්’ නමින් චරිතයකට දායක වුණා. මේ නාට්‍යය ඉන්දියාවේ  මුස්ලිම් සංස්කෘතියට නැඹුරුවන සේ කළ නිෂ්පාදනය කළ මුල්ම ටෙලිනාට්‍ය මාළාවයි. මේ නාට්‍යයේ කොටස් කිහිපයක් විකාශනය වනවිට ඔහුගේ චරිතය මරණයට පත්වෙනවා. නමුත් පසුව වෙනත් චරිතයක් ඔස්සේ නැවත ඔහු එම නාට්‍යයටම දායක වෙනවා. 

එවැනි චරිතවලින් ඔහුට ලොකු ජනප්‍රියත්වයක් ලබාගන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. කෙසේ නමුත් 2009 වසරේදී විකාශනය කෙරුණු ‛ප්‍යාර් කා බන්ධාන්’ හි ‛රොනක්’ කියන චරිතයෙන් ඔහු නැවත ප්‍රේක්ෂක ජනාදරයට පත්වෙනවා. 

ඉන්පසු වසර කිහිපයක්ම ඔහු ටෙලිනාට්‍යවල දකින්නට ලැබෙන්නේ නැහැ. 2014 විකාශනය වුණු ‛යේ හායි ආෂිකි’ ටෙලිනාට්‍ය මාළාවේ ඔහු මාහාචාර්යවරයකුගේ චරිතයකට දායක වුණත් එයින් ද ඔහුට ප්‍රෙක්ෂකයන් අතරට එන්නට හැකිවන්නේ නැහැ. කෙසේ නමුත් 2014 වසරේදීම ඉන්දියාව තුළ විකාශනය ආරම්භ කළ ‛යේ හායි මොහාබතීන්’, එහෙමත් නැත්නම් ඔබ අප කවුරුත් දන්නා හඳුන්න ‛මේ ආදරයයි’ ටෙලිනාට්‍ය මාළාව නැවත ඔහු කරා වාසනාව රැගෙන එනවා. මේ ටෙලිනාට්‍යය නිසා ඔහු ඉන්දියාවේ පමණක් නොව අප රටේ ද අතිශය ජනප්‍රිය පුද්ගලයකු බවට පත් වී අවසානයි. 

සච්දේව් ස්වභාවයෙන්ම ලජ්ජාශීලී පුද්ගලයකු ලෙස ප්‍රකටයි. ඔහු  නිවස තුළට වී ප්‍රහේළිකා පුරවන්නට දැඩි කැමැත්තක් දක්වන බව පැවසෙනවා. ලජ්ජාශීලී කතාව කුමක් වුවත් ‛ක්‍යුන්කි සාස් භි කභි බාහු ථි’ ටෙලිනාට්‍යය රූපගතකළ කාලයේ ඔහු සිය සහාය රංගන ශිල්පිනියන් වූ අශ්ලීෂා ස්වාන්ත්, කිරාන් බඩී සහ රීවා බබ්ලර් සමග එකවර පෙම් සබඳතා පැවැත්වූ බව ප්‍රකට කරුණක්. කෙසේ වෙතත් ඔහුගේ නිල පෙම්වතිය ලෙස මාධ්‍යවලින් ප්‍රකට වුණේ අම්රිතා ගුජ්රාල්. ඇය ‛ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පුවත්පතේ ජාත්‍යන්තර අළෙවිකරණ ප්‍රධානියා වනවා. ඔවුන් 2009 දෙසැම්බර් 9 වැනිදා ඇයගේ උපන් ප්‍රදේශය වන චන්දිගාර්හි විවාහ වුණා. 


සච්දේව් සහ අම්රිතා

“අම්රිතා සමඟ තිබුණු වසර 6ක පෙම් සබඳතාවයක ප්‍රතිඵලයක් විදිහට තමයි අපි විවාහ වුණේ. මට ඇයව හමුවුණේ ඇගේ සොයුරිය නිසා. මේ වගේ අහිගුණ්ටික රැකියාවක් කරන මම වගේ කෙනෙක් එක්ක ඇයට ජීවිතය ගතකරන්න අමාරු බව මම දන්නවා. නමුත් ඇය එය වඩාත් හොඳින් සිදුකරනවා. ඇය කිසිම සීමා මායිමක් නැතිව මාව විශ්වාස කරනවා. මගේ ලොකුම රසිකාවිය ඇයයි. ඇය මගේ ජීවිතයට එක්වීම මට ආශීර්වාදයක්” 

සච්දේව් එසේ පවසනවා. 

4 comments:

  1. නොදකින් ගූ ගඳ ගහන ඉන්දියන් බහුබූත

    ReplyDelete
  2. ගෙදර ගෑනු පරාණ ටික ඔය කුණුගොඩ බලන නිසා මට DW-TV බලන්න වෙන්නෙ නෑ..... :/

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න