පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, May 27, 2014

දුම්වැටි පරීක්ෂණ වෙනුවෙන් සතුන් බිළිවීමේ කතාව - Sacrificing Animals for Cigarette Testings

සුනඛයන්ද දුම්වැටි පරීක්ෂණ සඳහා යොදාගනු ලැබිණි. 

සත්තු කිසිදා දුම්පානය නොකරති. නමුත් මිනිස්සු දුම්පානය කරති. දුම්පානය අහිතකර දෙයක් බව දැන දැනත් ඔවුහු දුම්පානය කර එයට ඇබ්බැහි වී එයින්ම අකාලයේ මිය යති. සතුන් දුම්පානය නොකරතත් දුම්පානය කරන මිනිසුන්ට නව නිෂ්පාදන ලබාදීමේ බලාපොරොත්තුවෙන් දුම්වැටි සමාගම් සතුන්ටත් දුම්පානය කරවති. සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සිනහවට කාරණයක් යැයි බොහෝ දෙනෙකු සිතන නිසා මේ වෙනුවෙන් උද්ඝෝෂණය කරන්නනෝ ද අල්පය.  මේ පිළිබඳව දන්නා අය මෙන්ම නොදන්නා අය වෙනුවෙන් ද මේ තොරතුරු ඉදිරිපත් කිරීම මැනවැයි සිතෙන්නේ මේ නිසාය.

මීයන් පරීක්ෂණ නලවලට දමා පරීක්ෂණ පැවැත්වීම 

මීයන් පරීක්ෂණ නලවලට දමා පරීක්ෂණ පැවැත්වීම 

දුම්බීම සෞඛ්‍යයට අහිතකර බැව් වෛද්‍යවරුන් විසින් සොයාගෙන දශක ගණනාවකි. දුම්බීම මගින් මුඛ පිළිකා හා පෙනහළු පිළිකා පමණක් නොව ශරීරයේ සෑම ඉන්ද්‍රියයකටම පාහේ හානි සිදු වේ. කෙසේ නමුත් දුම්වැටි සමාගම් සිය නිෂ්පාදන අත්හදාබැලීම සඳහා අහිංසක සතුන් කෲර ලෙස යොදාගන්නා බව රහසක් නොවේ. එයින් සතුන් වේදනා විඳ මිය යන අතර එම පර්යේෂණවලින් දුම්වැටි පානයට ඇබ්බැහි වූ අනුවණ මිනිසුන් වෙනුවෙන් යහපතක් සිදුවන්නේ ද නැත. දුම්වැටි පානය නිසා මිනිසුන් මරණය වැළැඳගන්නා බව එම සමාගම් දන්නා මුත් ඔවුන් මෙම පර්යේෂණ මගින් බලාපොරොත්තු වන්නේ මරණය ළඟාවීම තරමක් ප්‍රමාද කොට දුම් බොන්නන් හට වැඩි වැඩියෙන් දුම්වැටි පොවා තම ලාභය වැඩිකරගැනීමය.

දුම්වැටි නිෂ්පාදනයේදී සතුන් යොදා කෙරෙන පරීක්ෂණ සඳහා එක්සත් රාජධානියේ අවසර නැතත් ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපීය සංගමයේ රටවලට තහනමක් නැත. දුම්වැටි නිෂ්පාදන සතුන් යොදා කෙරෙන පරීක්ෂණවලදී ඔවුනට බලහත්කාරයෙන් දුම් ආශ්වාස කිරීමට සිදුවේ. මෙය දිනකට පැය 6 බැගින් දෛනිකව සිදුකෙරේ. නොමැරී සිටියහොත් වසර තුනක පමණ කාලයක් දක්වා මෙම දඬුවම විඳිනට සතුනට සිදුවේ.

වඳුරන් ආශ්‍රිත දුම්වැටි පරීක්ෂණ 

වඳුරන් ආශ්‍රිත දුම්වැටි පරීක්ෂණ 

සත්තු සහජයෙන් දුම් ආශ්වාස කිරීම ප්‍රතික්ෂේප කරති. නමුත් දුම්වැටි සමාගම්වල ඇති රසායානාගාරයන්හිදී පරීක්ෂණ නල තුළට දමන මීයන්ගේ නාසයට සෘජුවම, බලහත්කාරයෙන් දුම් පොම්ප කරනු ලබයි.  අතීතයේදී මෙම පරීක්ෂණ සඳහා සුනඛයන් සහ වඳුරන් ද යොදා ගැනුණි. ඔවුන්ගේ උගුරු දණ්ඩෙහි සිදුරක් තනා මුහුණට මුඛවාඩාම් දමා එම සිදුරෙන් කෙළින්ම පෙනහලුවලටම දුම් පොම්ප කරවනු ලැබිණි. සාමාන්‍ය පරීක්ෂණවලදී මීයන්ගේ සමට සෘජුවම දුම් විදිනු ලැබිණි. එයින් අපේක්ෂා කරනු ලැබුයේ දුම් මගින් චර්ම පිළිකා ඇතිවන්නේ දැයි සොයා බැලීමය.

මෙසේ කරනු ලබන පරීක්ෂණ පහත සඳහන් ස්වභාවයන්ගේ යුක්ත වේ.

1. දුම්වැටිවලට මීපැණි, සීනි, පැණි මණ්ඩි, මිදි යුෂ, දෙහිවලින් ලබාගන්නා තෙල්, චොක්ලට්, කොකෝවා සහ කෝපි සාරය එක් කරමින් ෆිලිප් මොරිස් නම් සුප්‍රකට දුම්වැටි නිෂ්පාදන සමාගම කළ පරීක්ෂණ සඳහා මීයන් දහස් ගණනක් යොදා ගැනුණි. මීයන් පරීක්ෂණ නල තුළට දමා ඉහත සඳහන් ද්‍රව්‍ය මිශ්‍ර කළ දුම් ඔවුනගේ නාස වලට සෘජුවම ඇතුළු කරනු ලැබිණි. මෙය දිනකට පැය 6 බැගින් අඛණ්ඩව දින 90 කාලයක් සිදු කෙරණි. මෙම කාලය අවසන් වන විට මීයන් මිය ගිය අතර දුම නිසා සිරුරේ ඇති වන විවිධ වෙනස් කම් සොයා බැලීම සඳහා මළ සිරුරු නැවතත් රසායනාගාරවලට යවනු ලැබිණි.

2. තිරිඟුවලින් සාදාගනු ලබන අධි සාන්ද්‍රණ ෆෘටෝස් සිරප් රසය දුම්වැටිවලට එක්කිරීමේ පරීක්ෂණ ආර්.ජේ. රෙනෝල්ඩ්ස් නම් සුප්‍රකට දුම්වැටි සමාගමේ සිදුකෙරිණි. මෙහිදී මීයන් දහසකට අධික සංඛ්‍යාවක් යොදා ගැනුණු අතර ඔවුන්ගේ සමෙහි සිගරැට් තාර තවරනු ලැබිණි. එමෙන්ම ඔවුනට බලහත්කාරයෙන් දුම් ආශ්වාස කරන්නට සළස්වනු ලැබිණි. තාර ඇඟේ තවරනු ලැබූ මීයෝ පරීක්ෂණය අතරතුර මිය ගියහ. අනෙක් මීයන්ගේ සම පැළී චර්ම පිළිකා ඇති විය. ඉතිරි මීයන් මරා විච්ඡේදන කටයුතු සඳහා රසායානාගාරවලට යවනු ලැබිණි.

3. ෆිලිප් මොරිස් සමාගම මීයන් දහසක් පමණ ඩීසල් ඇන්ජින් දහනයේදී පිටවන දුමට සහ වරක් පාවිච්චි කළ දුම්වැටිවලින් නිකුත්වන දුමට නිරාවරණය කරනු ලැබිණි. මෙය දිනකට පැය 6 බැගින් සතියක කාලයක් ක්‍රියාත්මක කෙරිණි. මෙයින් බලාපොරොත්තු වූයේ ඔවුනගේ පෙනහළුවලට දුම බලපාන්නේ කෙසේදැයි සොයා බැලීමය.

සාවුන් ද මෙම පරීක්ෂණවලින් ගැළවුණේ නැත

දුම්වැටි සමාගම්  දැවටුම් කඩදාසි, දුම්කොළ මිශ්‍රණ සහ ආරක්ෂිත යැයි කියාගනු ලබන (නමුත් කිසිදු ආරක්ෂාවක් නැති) දුම්වැටි නිෂ්පාදන සඳහා ද සතුන් යොදා පරීක්ෂණ පවත්වයි. පරීක්ෂණ සඳහා සතුන් යොදාගැනීමට එරෙහි ඇමරිකානු සංවිධානයක් වන PETA - People for the Ethical Treatment of Animals හි පර්යේෂකයන් මෑතකදී සොයාගත් සුවිශේෂී කරුණක් වූයේ දුම්කොළ භාවිතයට එරෙහිව සටන් වදින්නේ යැයි සියලු දෙනා පිළිගත් ඇමරිකානු ජාතික පිළිකා ආයතනය දුම්වැටි නිෂ්පාදන සමාගම්වලට ඔවුන්ගේ නව නිෂ්පාදන අත්හදාබැලීම සඳහා මීයන් අළෙවිකරන බවය.

ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ ඇති ජාතික ප්‍රයිමේටා පර්යේෂණ ආයතනයේ රීසස් වර්ගයේ වැඳිරියන්ගේ ගර්භනී සමයේ අවසාන මාස හතර තුළ නිකොටින්වල බලපෑම කෙතරම්දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ පවත්වන බවට හෙළිවී තිබේ. ගර්භනී තත්වය සම්පූර්ණ වීමට ප්‍රථම මෙම වැඳිරියන්ගේ ගර්භාෂයෙන් කළල පිටතට ගෙන ඔවුන් මරා නිකොටින්වල බලපෑම සොයා බැලීම සඳහා පර්යේෂණාගාරවලට යවනු ලබයි.

දුම්කොළවලින් සිදුකෙරෙන නිෂ්පාදන පරීක්ෂා කිරීම සඳහා සැබවින්ම සතුන් යොදාගැනීම අත්‍යවශ්‍ය නොවේ. මිනිස් සිරුර පිළිබඳ මෙතෙක් ලබාගෙන ඇති විද්‍යාත්මක දැනුම ඔස්සේ යන්ත්‍රානුසාරයෙන් මේවා පරීක්ෂා කිරීමට ඇති තරම් පහසුකම් තිබේ. නමුත් බොහෝ දුම්වැටි නිෂ්පාදන සමගම් තවමත් මෙම කෲරතර ක්‍රියාව මගින් සිය නිෂ්පාදන පරීක්ෂාකිරීම නවතා නැත.

සුනඛයන්ද දුම්වැටි පරීක්ෂණ සඳහා යොදාගනු ලැබිණි. 


දුම්වැටි නිෂ්පාදන පරීක්ෂාකිරීම සඳහා සතුන් යොදාගැනීමෙන් අහිංසක සතුන්ට සිය ජීවත්වීමේ අයිතිය අහිමිවනවා සේම එයින් මිනිසුන්ට ඇතිවන සෙතක් ද නැත. එයට හේතුව යම් යම් ස්වභාවයන්ගෙන් සතුන්ගේ ක්‍රියාකාරීත්වයන් මිනිසුන්ට සමාන අවස්ථා තිබුණ ද එය සර්ව සම්පූර්ණ නොවීමය. එනම් සතුන් මත කෙරෙන පර්යේෂණවල ප්‍රතිපල මිනිසුනට අදාළ කරගැනීම සාර්ථක ක්‍රමයක් නොවන නිසාය. කුමන ආකාරයෙන් කෙතරම් පරීක්ෂණ පැවැත්වුවද දුම්කොළ ආශ්‍රිතව කෙරෙන කිසිදු නිෂ්පාදයක් කිසිසේත්ම හිතකර නැත. කෙටියෙන් පවසන්නේ නම් දුම්බීම සිරුරට කිසිසේතම හිතකර නැත. යමෙක් දුම්බීමට ඇබ්බැහි වී ඇත්නම් ඔහු හෝ ඇය තමාට ආදරය නොකරන්නෙක් වනවා පමණක් නොව අහිංසක සතුන්ගේ ජීවත්වීමේ අයිතිය උදුරාගන්නට ද දායක වන්නෙකි. අනෙක දුම්වැටි සමාගම්වලට සිය නිෂ්පාදන ඔස්සේ මිනිසුන්ගේ ජීවිත උදුරාගන්නට අවශ්‍ය නම්, එය අනුවණ මිනිසුන්ට වටහාගන්නට නොහැකි නම් අඩුම තරමේ අහිංසක සතුන්ගේ ජීවිත හෝ එයට බිලිනොදී සිටිය යුතුය. කෙසේ මුත් වඩාත් යහපත්ම දෙය වන්නේ ඔබ ද දුම්පානයෙන් වැළකී ඔබේ හිතවතුන් ද එයින් වළක්වාලීමය. එවිට මිනිසුන්ගේ ජීවිත අකාලයේ වැනසීම වළක්වන්නට හැකියාව ලැබෙනවා පමණක් නොව අහිංසක සතුන්ගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරන්නට දායක වූයේය යන සතුට ද ඔබට ලැබෙනු ඇත. 

1 comment:

  1. අපි නම් ඉතිං දුම්පානයේ තොරයි.

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න