පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, December 31, 2014

අමුතු අමුතු අවුරුදු සැමරුම් - Strange New Year Traditions from around the World


වසරක් ගෙවී නව වසරක් උදා වී තිබේ. අප රටේ මෙන්ම ලෝකය පුරා ද ජනතාව නව වසර සමරන්නට පටන්ගෙන ඇත. ලොවම උත්සව සිරියකින් පිරී තිබේ. අප රටේ නම් බොහෝ විට නව වසර සැමරෙන්නේ ආගමික් වතාවත් සමඟිනි. ඊට අමතරව සංගීත සංදර්ශන පැවැත්වීම ද මෑතක සිට අපේ රටේ ප්‍රචලිත වී තිබේ. නමුත් මේ කිසිවක අසාමාන්‍ය බවක්   පෙනේනට නැත. නමුත් ලෝකයේ ඇතැම් රටවල වසරක් ගෙවී නව වසරක් උදාවන විට එය සමරන්නේ අපූරු සිරිත් විරිත්වලිනි. අප දැන් සූදානම් වන්නේ ද ලොව පුරා විවිධ රටවලින් හමුවන එවැනි සිරිත්විරිත් පිළිබඳව ඔබව දැනුවත් කරන්නටය.


මළවුන්ට හඩ ගසා නව වසර සමරන චිලිය 





චිලියේ නව වසර සඳහා දේව මෙහෙය පවා පැවැත්වෙන්නේ සොහොන් පිටියකදීය.  සිය පවුලේ සාමාජිකයකු වියෝ වී ඇත්නම්, ඔහු හෝ ඇය භුමදානය කළ සොහොන අසලට ගොස් දේව මෙහෙයට සවන් දෙයි. ඔවුන් මෙයින් බලාපොරොත්තවන්නේ සිය පවුලේ සාමාජිකයා ද නව වසර සැමරීම සදහා එක්කර ගැනීමය. ෆින්ලන්තයේ හා දකුණු ඇමරිකානු රටවලත් මෙම සිරිත දක්නට ලැබේ. 


අවුරුද්ද උදාවන තුරු මිදි කන ස්පාඤ්ඤය 





ස්පාඤ්ඤ වැසියන් නව වසර පිළිගන්නේ අපූරු ආකාරයකටය. මැඩ්රිඩ් අගනුවර ප්ලාසා ඩි එස්පානාඑළිමහන් චතුරශ්‍රයට එක්වන ඔවුහු නව වසර උදාවන්නට තත්පර 12ක් තිබියදී තත්පරයට එක බැගින් මිදි ගෙඩි දොළහක් කෑමට පුරුදුව සිටිති. ඔවුන් මෙයින් බලාපොරොත්තු වන්නේ එළැඹෙන මාස 12 සුබදායක වේවා යන්නය. 


නව වසරේ ආහාර වේල් 12ක් ගන්නා එස්තෝනියාව

 



එස්තෝනියාවේ වැසියෝ නව අවුරුදු උදාවත් සමඟ කෑම වර්ග 12ක් පිළියෙළ කරති. යම් අයෙකුට මේ කෑම වේල් 12 ද ඉතිරි නැතිව කෑමට හැකි වුවහොත් එළැඹෙන වසරේ සෑම දිනකම ඔහුට හෝ ඇයට ආහාර පානවලින් හිඟයක් නැති බැව් ඔවුහු විශ්වාස කරති. එමෙන්ම එම පුද්ගලයාට සත් දෙනෙකුගෙ ශක්තිය ලැබෙන බව ද  පැවසේ.



නව වසර වෙනුවෙන් රවුම් හදන පිලිපීනය 





රවුම එසේත් නැත්නම් වෘත්තය යනු අපගේ ලෝකය ගමන් කරනා මාර්ගයයි. අපේ ලෝකයේ හැඩයයි. අනාදිමත් කාලයක සිටම මිනිස්සු වෘතය යනු ශුද්ධ වූ සංකේතයක් ලෙස සළකන්නට පුරුදුව සිටියහ. පිලිපීනයේ දී වෘත්තයට පූජනීය තත්වය ලැබෙන්නේ නව අවුරුදු උදාවේදීය.  ඔවුන් නව වසරේ අඳින ඇඳුමේ ඇත්තේ රවුම් හැඩය ඇති මෝස්තරය. ආහාරයට ගන්නේ මිදි වැනි රවුම් හැඩයේ පළතුරුය. නිවෙස වටා ගමන් කරනා අතරේ වළඳකට රවුම් කාසියක් දමා වටේට ගමන් කරවීම සිදු කරයි. මෙසේ කිරීමෙන් නිවසට සෞභාග්‍යය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි. 


අතීතය පුළුස්සා දමන ඉක්වදෝරය 





ඉක්වදෝර් වැසියෝ නව වසර එළැඹෙන්නට පෙර තමන් ගත කළ වසරේ සිදුකළ වැරදි කඩදාසියක ලියති. අනතුරුව එය පුළුස්සා දමති. එමෙන්ම පත්තර කඩදාසිවලින් තනන ලද පඹයකු පුළුස්සා දැමීමද සිදුකරනු ලබයි. ඔවුන් මෙයින් බලාපොරොත්තුවන්නේ පසුගිය වසරේ නරක දේ පළවා හැරීමය. මෙම සම්ප්‍රදාය වර්තමානය වන විට දේශපාලඥයින්ගේ රුව සහිත පඹයන් පුළුස්සා දැමීම තෙක් වර්ධණය වී තිබේ. 

(මේ අවුරුද්දේ අපටත් මේක කරන්න පුලුවන් වෙයි)


බෙලාරුස්වලින් ඇසෙන කුකුල් කතාව




බෙලාරුස්වල අවිවාහක තරුණ තරුණියෝ නව වසරේ මුල්ම පැය කිහිපය ගතකරනුයේ පසුගිය වසරේ ඔවුනොවුනගේ ආදර සබඳතා පිළිබඳ මෙනෙහි කරන්නටත් අනාගත ආදර සබඳතා පිළිබඳ සිහින මවන්නටත්ය. තරුණියෝ මෙහිදී අපූරු ක්‍රිඩාවකට ද සහභාගී වෙති. සෑම අවිවාහක තරුණියක් ඉිදිරයේම ඉරිඟු ධාන්‍ය පිරවූ පිඟානක් තබනු ලබයි. ඉන්පසු කුකුළකු එතැනට රැගෙන එයි. මෙහිදී කුකුළා මුළින්ම ධාන්‍ය අනුභව කළ පිඟාන හිමි තරුණිය එහි සියලු තරුණියන් අතුරින් මුළින්ම විවාහපත්වන බව ඔවුහු විශ්වාස කරති. විවාහක කාන්තාවන් සිය අවිවාහක මිතුරියන් වෙනුවෙන් තවත් ක්‍රිඩාවක් කරති. විවාහක කාන්තාවෝ සිය නිවසේ පාන්, මුදු වැනි විවිධ දෑ කිහිපයක් දෙයක් සඟවයි. අවිවාහක මිතුරුයක් මේ සැඟවූ දෑ අතරින් පාන් කැබැල්ලක් සොයා ගත්තේ නම් ඇය ධනවත් තරුණයකු හා විවාහ වන බවත්, මුද්දක් සොයාගත හොත් ඇය කඩවසම් තරුණයකු හා විවාහවන බවත් විශ්වාස කෙරේ. 


මිතුරකු වෙනුවෙන් දීසියක් කඩන ඩෙන්මාර්කය 





ඔබගේ නිවසේදී දීසියක් බිම වැටී බිඳී ගියහොත් සිදුකරන්නේ එය කසල ගොඩට දැමීම වුවත් ඩෙන්මාර්කයේ අලුත් අවුරුදු උදවෙ සමඟ එවැන්නක් සිදුවුවහොත් ඔබට ඒ වසරේ අලුත් යහළුවන් හමුවන බව පැවසේ. ඩෙන්මාර්ක් වැසියෝ වසර පුරා එකතු කරන දීසිනව වසර එළැඹීමත් සමඟ කඩා දමති. නිවාස ඉදිරිපිට මෙසේ බිඳින ලද දීසි ගොඩ වැඩිවන තරමට ඒ වසරේ එම පුද්ගලයාට මිතුරු මිතුරුයනි හිමිවන බව විශ්වාස කෙරේ. 


පාට පාට යට ඇඳුම් ඇඳ නව වසර පිළිගන්නා මධ්‍යම හා දකුණු ඇමරිකාව 




නව වසරේ අඳිනා යට ඇඳම මගින් උදාවන වසරේ තමාට ලැබෙන මුදල් හා ආදරය තීරණය කෙරෙන බැව් එම රටවල වැසියෝ විශ්වාස කරති. බොලීවියානු වැසියෝ තද කහපැහැ යට ඇඳුම් අඳිනා අතර ඔවුහු එයින් එළැඹෙන වසරේ වාසනාව  වැඩිවේ යැයි බලාපොරොත්තු වෙති. මෙක්සිකානුවෝ මේ සඳහා අඳින්නේ තද රතු යට අඳුම්ය. 


නව වසර උදාවන දිනය ආදරයෙන් පුරවන්නට කැමති ස්කොට්ලන්තය





ස්කොට්ලන්ත වැසියන් නව අවුරුදු උදාවන දිනය හඳුන්වන්නේ හොග්මානියනුවෙන්. එහි අරුත වන්නේ මහා ආදර දිනයයන්නයි. නව අවුරුදු දිනයේ මැදියම් රාත්‍රියේ ස්කොට්ලන්ත වැසියෝ ගිනි දැල්වූ පොලු වනමින් නගරය පුරා සැරිසරති. ඔවුන් එයින් බලාපොරොත්තුවන්නේ නව වසර පවිත්‍ර කිරීමයි. එමෙන්ම නව වසරේ මුළින්ම නිවසට පැමිණෙන පුද්ගලයා අනුව ඉදිරි වසර කුමනකාර වේදැයි අනුමාන කරන්නට ද ඔවුහු පුරුදුව සිටිති. 

ඔබ සැමට සුබ නව වසරක් වේවා!












9 comments:

  1. අහ් ඒකත් එහෙමද
    ඔය පරණ ඒව පුච්චනව වෙනුවට
    දියවන්නාවට ගිනිකූරක් ගහන්ට බැරි වෙයිද දන්නෑ
    අනික අපිට එකක්යැ
    අලුතු අවුරුදුය කියලම දෙකක්ම තියේනනෙව

    ReplyDelete
    Replies
    1. දියවන්නාවේ කූඩාරමට රිංගන හරක් නැති වුණු දවසක අපට හැමදාම අවුරුදු තියේවි. මේ දවස්වල ජාත්‍යන්තර කුමන්ත්‍රණ වාගේ දේවල් ගැන කියවෙන නිසා ජාත්‍යන්තර අලුත් අවුරුද්ද ගැන ලිව්වා. අප්‍රේල් වෙනකොට බලමු අපේ අවුරුද්ද ගැන මොනව හරි ලියන්න.

      Delete
  2. මෙහෙමත් සැමරුම්

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කුමන කතාද ඉතිං

      Delete
  3. හරිම වටින, රසවත් ලිපියක්.. මටත් පුංචි කාලෙ හම්බ වුණා යුනෙස්කෝ එකෙන් පරිවර්තනය කරපු ආසියාවේ උත්සව කියල මේ වගේම විස්තර තියෙන පොතක්...

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට බොහෝ ස්තූතියි.

      Delete
  4. අගේ අැති ලිපියක්.....................

    අපි නම් බ්ලොග් පෝස්ට් දාමින් අවුරුද්ද සමරන ලංකාව................. හැක් හැක් හා............

    සුභම සුභ නව වසරක් වේවා................................

    කුගැගීප

    ReplyDelete
    Replies
    1. ඔබ ඇතුළු බ්ලොග් ලෝකයේ සියලු දෙනාට සුබ නව වසරක් වේවා !

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න