පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, January 15, 2015

රූපවාහිනියටත් අකුරු වරදියි - National Channel mispelled a news



සුවිශේෂී වගකීමකින් යුක්තව ජනතාව වෙත තොරතුරු ඉදිරිපත් කළ යුතු ආයතන අතුරින් එකක් වන්නේ මාධ්‍ය ආයතනයන්ය. නමුත් මෑතක සිට බොහෝ මාධ්‍ය ආයතන වෙතින් එම වගකීම ගිළිහී යමින් පවතින අයුරු විවිධ සිදුවීම් ඔස්සේ දක්නට හැකිය. එක් අවස්ථාවක සිරස ඔස්සේ ‛හදිසි නීතිය’ වෙනුවට ‛ඇඳිරි නීතිය’ යන වදන ඉදිරිපත්කිරීම නිසා එහි ප්‍රවෘත්ති විකාශනය කිරීම තාවකාලිකව අත්හිටුවනු ලැබිණි. ආසියානු ගුවන් විදුලි ජාලයේ එක් ගුවන් විදුලි නාලිකාවක වෛද්‍ය ගැටළු වැඩසටහනක් සඳහා මාධ්‍ය විසින් භාවිත නොකළ යුතු අන්දමේ වදන් පරිහරණය කිරීම නිසා සමස්ත මාධ්‍ය ජාලයම තාවකාලික තහනමකට ලක්විය. ප්‍රේමදාස ජනපතිවරයාගේ සමයේ මාධ්‍ය ඇමතිව සිටි ඒ.ජේ.රණසිංහ මහතා විසින් එක් ටෙලි නාට්‍යයක් තහනම් කළේ මාධ්‍ය ආයතන නිලධාරීන් සිය වගකීම පැහැර හරිමින් නිදන කාමරයක දර්ශන ඉදිරිපත් කළේ යැයි චෝදනා කරමිනි. මීට අමතරව අද බොහෝ පෞද්ගලික මෙන්ම ජාතික මාධ්‍ය ද සිය මාධ්‍ය වගකීම පිළිබඳ කිසිවක් නොතකමින් ක්‍රියාකරනු දැකිය හැකිය. මේ සඳහා බොහෝ උදාහරණ සොයාගත හැකි අතර මෙය එයට අවස්ථාවක් නොවේ. 





මේ පවසන්නට සැරසෙන්නේ 2015-01-15 වැනි දින ජාතික රූපවාහිනි ඔස්සේ විකාශනය වුණු එක් ප්‍රවෘත්ති විකාශනයක් අතරතුර දුටු දෙයක් පිළිබඳවය. රූපවාහිනි තිරයේ පහළින් විවිධ ප්‍රවෘත්තිය පළවෙයි. එහි එක්වරම දිස්වූයේ ‛හජ් වහන්සේ දිවයිනෙන් නික්ම යයි’ යන්නය. එය කිහිප වරක්ම දිස්විය. ‛හජ් වහන්සේ’ වැනි පුද්ගල නාමයක් මා පෞද්ගලිකව නොදන්නා අතර මෙය කියවන අයෙක් ඒ පිළිබඳ දන්නේ නම් ඒ පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි. මා සිතනා පරිදි මෙහි ‛හජ් වහන්සේ’ යැයි සඳහන් කරන්නට ඇත්තේ ‛පාප් වහන්සේ’ යන්නට විය හැකිය. එය එසේ නම් ජාතික මාධ්‍යක් තමා ඉදිරිපත් කරන තොරතුර සම්බන්ධව වගකීමක් නොදරන බැව් පැවසීමේ වරදක් නැත. යමක් අක්ෂර සංයෝජනය කළ පසු එය නිවැරදිදැයි පරීක්ෂාකිරීම සඳහා සාමාන්‍යයෙන් මාධ්‍ය ආයතනවල සෝදුපත් පරීක්ෂකවරු සිටිති. ජාතික රූපවාහිනියේ නැතැයි සිතිය නොහැකිය.  නොඑසේ නම් ඔවුන් මේවා පරීක්ෂා කරන්නේ අපරීක්ෂාකාරීව විය හැකිය. කෙසේ මුත් ජාතික මාධ්‍යයක් ජනතාවට තොරතුරු ඉදිරිපත් කිරීමේදී මෙයට වඩා පරීක්ෂාකාරී විය යුතු යැයි කිව යුතුය.

10 comments:

  1. දෙයි හාමුදුරුවනේ................! ආගමික සටනක් ඇතිවෙන තරම් බරපතළ වචන වැරදීමක් නේද? මම හිතන්නේ මැතිවරනෙන් පස්සේ ඔලු කුරුවල් එලා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ නිසා හොදයි. මේක ප්‍රංශයේ වුණා නම් තමමි ඉතිං . . .

      Delete
  2. වෙන එකක් තබා ජනාධිපතිවර්නය කියන වචනය තියෙද්දේ ජනාධිපති මැතිවරණය කියන වැරදි වදන් භාවිත වුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නම් ඇත්ත. එහෙම විශේෂ වචනයක් තියෙද්දි බොහෝ මාධ්‍යවල භාවිත වුණේ ‘ජනාධිපති මැතිවරණය‘ කියා තමයි. මම හිතන්නේ Presidential Election කියන එකෙන් හදාගත්ත එකක් වෙන්න ඕන. නමුත් ඉංගිරිසියේ එහෙම වචන නැහැ කියලා සිංහලයේ තියෙන වචන භාවිත නොකර ඉන්න එකේ තේරුමක් නැහැ.

      Delete
    2. ඉංග්‍රිසියෙන් ඉලෙක්ෂන් කියන්නෙ තේරීම කියන එකයි. ඉතින් ප්‍රෙසිඩන්ෂන් ඉලෙක්ෂන් කියන්නෙ ජනාධිපති තේරීම (=ජනාධිපති-වරණය). ජනාධිපති මැති වරණය කියල මැති කෑල්ලක් එන්නෙ නෑ. ඕක අයිබොවං නොදන්නාකම.

      Delete
    3. ඔබේ අදහස සමග මම එකග වෙනවා. ඉංගිරිසියට නැති සිංහලයට විතරක් ඇති ඒ වගේ සමාන වදන් බොහෝ තිබුණත් අපේ අය ඒවා භාවිත කරන්නේ නැහැ. අනෙක වචන සෑදෙන ආකාරය ගැනත් බොහෝ දෙනෙකුට අවබෝධයක් නැහැ. ඒ නිසා වැරදි වචන නිර්මාණය කරගන්නවා.

      Delete
  3. අම්මට සිරි................. දරුණු ගණයේ වැරැද්දක්..... මැදපෙරදිග රටකදී වුණානම් තුන්වැනි ලෝක යුද්ධය වෙන්න තිබුණ කාරණයක්.........

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැහැ ඉතිං

      Delete
  4. මෙම ලිපියට අදාල නොවුනත් ඔබෙන් ලොකු උදවුවක් ලබා ගන්නා අදහසිනුයි comment කලේ. මාගේ මතකයේ පරිදි ඔබ කලකට පෙර ජන්ගම දුරකථන අලුත් වැඩියා කරන ස්ථානයක් පිලිබදව ලිපියක් පල කලා. මම කොතරම් සෙවුවත් මා හට එය සොයා ගැනීමට නොහැකි උනා. කරුනාකර එම ලිපියට අදාල link එකක් හෝ එම ස්ථනයේ ලිපිනය ලබා දිය හැකිද. මාගේ මිතුරෙකුගේ දුරකථනයේ නොවෙන ගැටලුවක් ඇති වී ඇති නිසා එය ඉතා ඉක්මනින් සාදවා ගත යතු නිසයි. බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මහරගම තියෙන් ස්මාර්ට් ෆෝන් ෂොප් එක ගැන වෙන්න ඕන මේ අහන්නේ. මෙන්න මේ ලින්ක් එකෙන් විස්තර ගන්න පුලුවන් වෙයි.
      https://www.facebook.com/smartphonelk

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න