පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, May 7, 2014

කෝපි බීමෙන් දියවැඩියාව පාලනය වෙයිද? - Does drinking of coffee lead to control the diabetes?



පානයක් ලෙස කෝපිවලට ප්‍රිය කරන්නෝ ලොව බහුල වෙති. සීතල නැති කරගැනීමේ සිට උදරාබාධ තුරන්කරගැනීම සඳහා ද, උදෑසන පානයක් ලෙස ද කෝපි පානය කෙරේ. මෙසේ කෝපි පානයට ඇලුම් කරන්නන්නට මෙන්ම අන් අයට ද දැන් පවසන්නට සැරසෙන පුවත සතුටුදායක එකක් වනු නිසැකය. ඒ, කෝපි පානය කිරීම නිසා දියවැඩියාව වැළඳීමේ හැකියාව සෑහෙන මට්ටමකින් අඩුකරගතහැකි බවය. තවත් සවිස්තරාත්මකව පැවසුවහොත් ඉතාමත් මෑතකදී කරන ලද පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ දිනකට කෝපි කෝප්ප එකහමාරක් (1 1/2) පානය කිරීමෙන් දියවැඩියාව (type 2 diabetes) වැළඳීමේ හැකියාව 11%කින් අඩුකරගත හැකි බවයි.
 වෛද්‍ය ශිල්පා භූපතිරාජු

හාවර්ඩ් සරසවියට අනුබද්ධ මහජන සෞඛ්‍ය පාසලේ පෝෂණවේදය පිළිබඳ අංශයේ වෛද්‍ය ෆ්‍රූන්ක් හු සහ වෛද්‍ය ශිල්පා භූපතිරාජු යන දෙදෙනා විසින් ඉතා මෑතකදී මෙම පර්යේෂණය අවසන් කළහ. එහි සවිස්තර වාර්තාව පසුගිය අප්‍රේල් 24 වැනිදා එහි වාර්තාව දියවැඩියා අධ්‍යයනය පිළිබඳ යුරෝපියානු සංගමයේ සඟරාව වන Diabetologia හි පළව තිබිණි.

ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගනිමින් කරන ලද අධ්‍යයනයන් තුනක් ඔවුන් මේ සඳහා ඇසුරුකොට ගෙන ඇති අතර අවුරුදු 25 - 75 අතර පුද්ගලයන් මෙම අධ්‍යයනය සඳහා සහභාගී කරවාගෙන තිබිණි.
සෑම වසර දෙකකට වරක්ම අවුරුදු 20 කාලයක් දක්වා මෙම පුද්ගලයන්ගේ ආහාර ගැනීමේ රටා, වෛද්‍ය තත්වයන්, වෙනත් නිදන්ගත රෝග ද මෙහිදී සැළකිල්ලට ගනු ලැබිණි.

වෛද්‍ය ෆ්‍රූන්ක් හු

මෙයට සහභාගී කරවාගත අය අතුරෙන් දිනකට කෝපි පානය කිරීම කෝප්ප 1 - 2 දක්වා අඩු කළ පුද්ගලයන්ට දියවැඩියාව වැළඳීමේ අවදානම 17%ක් දක්වා වර්ධණය විය.

දිනකට වැඩිම කෝපි කොප්ප ගණනක් පානය කරන්නන් දිවැඩියාවට ගොදුරුවීමේ අවදානම ඉතා අවම මට්ටමක් පැවතුණි. එය දිනකට කෝපි කෝප්ප එකක් පානය කරන්නන්ට වඩා තුන් ගුණයක අඩුවීමකි.
මෙම අධ්‍යයනය කරනු ලැබූ වෛද්‍ය දෙපළගෙන් එක් අයකුවන වෛද්‍ය හු පවසන්නේ අලුතින් කෝපි පානය කිරීමේ පුරුද්ද ඇති කරගත් පුද්ගලයන්ගෙන් ද දියවැඩියාව ගොදුරුවීමට ඇති අවදානම පහතවැටීමේ හැකියාව ඉතා කෙටි කලකින්ම පෙන්නුම් කළ බවය.

කැෆේන් රහිත කෝපිවලින් ද මෙම ප්‍රතිපලයම ලැබී තිබේ. එබැවින් දියවැඩියා අවදානම පහත හෙලන්නට දායක වන්නේ කැෆේන් නොවන බව පෙනෙන්නට තිබේ.

යුරෝපයේ මේ පිළිබඳව කරන ලද පර්යේෂණයකින් හෙළි වූයේ සෞඛ්‍යය සම්බන්ධ ආහාර හා ජීවන ශෛලීන් වෙනස් කරමින් මධ්‍යස්ථ තරමින් කෝපි පානය කළ පුද්ගලයන්ට දියවැඩියාව වැළඳීමේ අවදානම 30% කින් පමණ අඩු වී ඇති බවය.

එක්සත් රාජධානියේ පර්යේෂණ සන්නිවේදන නිලධරයකු වන වෛද්‍ය රිච්ඩ් ඉලියට් පවසන්නේ කෝපි පානය කිරීම නිසා දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු වුව ද, කෝපි පානය තව තවත් වැඩිකිරීම නිසා දියවැඩියාව වැළඳීමේ අවදානම කෙමෙන් පහළට ගතහැකි බව මෙයින් අදහස්වන්නේ නැති බවය.

දිනකට ඉතා වැඩි ප්‍රමාණයක් කෝපි පානය කරන්නන් හට ද දියවැඩියාව වැළඳීමේ අවදානම නැතිවාම නොවේ. එබැවින් දියවැඩියා රෝගීන් කිසි විටෙක කෝපි පානය කිරීම පිළිබඳ පමණක් රඳා නොපැවතිය යුතු බව ඔහු අවධාරණය කරයි.

මෙම අධ්‍යනයේදී හඳුනානොගත් වෙනත් සාධක ද මේ සඳහා බලපාන්නට ඇති අතර ඇතැම් අවස්ථාවලදී දියවැඩියාව වැළඳුණු පුද්ගලයන්ට කෝපි පානය නොකරන්නැයි ද වෛද්‍ය උපදෙස් ද ලබා දේ.

ඔහු තව දුරටත් පවසන්නේ එබැවින් කෝපි පිළිබඳ පමණක් විශ්වාසය නොතබා, සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර ගැනීම ව්‍යයාම කිරීම, සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වාගෙන යාම ආදිය මෙහිදී අමතක නොකළ යුතු බවය. 

1 comment:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න