පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Saturday, May 31, 2014

නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම හා බැඳුණු රසමුසු තැන් - Humorous things relating to Narendra Modi's Swearing




63 හැවිරිදි නරේන්ද්‍ර මෝදි පසුගිය මැයි 26 වැනිදා ඉන්දියාවේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඉන්දියාවේ මෙතෙක් පහළ වූ අගමැතිවරුන් සහ මෝදි අතර විවිධ වෙනස්කම් පවතනි බැව් පැහැදිලිවම පෙනෙන්නට තිබේ. ඔහු මෙතෙක් ඉන්දියාවේ පහළ වූ අගමැතිවරුන් සේ උසස් කුළයකින් පැවතෙන්නෙක් නොවේ. බටහිර රටවල කෙසේ වෙතත් ආසියානු කලාපයේ සමාජයේ පහළ ස්ථරයක පුද්ගලයකු ජීවිතයේ හිනි පෙත්තතට නැගුණු විට ඒ පුද්ගලයා දෙස වපර ඇසකින් බලනු පෙනෙන්නට ඇති කරුණකි. එසේ හෙයින් මෝදිගේ දිවුරුම් දීමේ අවස්ථාව ඇතැමුනට ඉන්දීය ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් වන අතරේ ඇතැමුන්ට එය සිනහසෙන්නට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයන්නක් බවට පත්ව තිබූ බැව් දැකිය හැකිය. නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීම සම්බන්ධව සිදුවීම් පිළිබඳ අවධානය යොමුකිරීමේදී පෙනෙන්නේ ඒවා අතරින් ඇතැම් ඒවායේ සියුම් ලෙස අපහාසය හා උපහාසය ගැබ්ව ඇති බවය.

ජවහර්ලාල් නේරු විශව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් ඇති ෂහ්සාද් ඉබ්‍රාහිමි  සිය ජීවිකාව පවත්වාගෙන යන්නේ සිය සරසවි භූමිය තුළ අවන්හළක් පවත්වාගෙන යාමෙනි. ඔහුට පසුගිය දවසක සිය ජීවිතයේ ප්‍රීතිමත්ම හැඟීම භුක්ති විඳින්නට අවස්ථාවක් හිමිවිය. ඒ නරේන්ද්‍ර මෝදි සිය දිවුරුම් දීමේ උත්සවය සඳහා ඔහුට ආරාධනා කළ නිසාය. තමාට ඇරයුම් ලැබුණු අවස්ථාවේ ඔහු සතුට පළ කළේ මෙසේය.

චායි වාලා කෙනෙක් අගමැති වුණු වෙලාවේ ඒක බලන්න තවත් චායි වාලා කෙනෙකුට ආරාධනා කරන්න එයා අමතක කරලා නැහැ. අනේ මට මේක දරාගන්න බැරි සතුටක්. අයියෝ . . . මට මේ ගැන කතා කරන්න බැරි තරම් සතුටුයි.

චායි වාලා යනු හින්දි බසින් තේ හදන්නා යන අරුත දෙයි. චායි වාලා වරු ඉන්දියාවේ සෑම තැනකම පාහේ බහුල චරිතයකි. කොතැනකදී හෝ උණුසුම් තේ කෝප්පයක් රස විඳන්නට අවශ්‍ය නම් එතැනට අවශ්‍ය චායි වාලා කෙනෙකි. නරේන්ද්‍ර මෝදි ද කුඩා සමයේ සිය පියා සමඟ තේ විකුණුවේය. ඔහුගේ පියාගේ ප්‍රධාන රැකියාව එය වන්නට ඇත.

මගේ වගේ අධ්‍යාපන සුදුසුකම් තියෙන කෙනෙකුට මෝදිගේ පාලනයක් යටතේ නම් තේ හදන්න වෙන එකක් නැහැ.

ඉබ්‍රාහිම් එසේ පැවසුවේය.

පළපුරුදු තෙලුගු දේශපාලඥයකු වන අශොක් ගජපති රාජු කැබිනට් අමාත්‍යවරයකු ලෙස දිව්රුම් දීමේදී සිදු වූ පුදුමාකාර වරදක් සිදුවිය. ජනපති ප්‍රනාබ් මුඛර්ජි දිවුරුම් ප්‍රකාශය මුළින් කියවාගෙන යන අතර දිවුරුම් දෙන ඇමතිවරයා එය නැවත කියවිය යුතුය. එහිදී ගජපති රාජු වන මමයන්න පවසද්දී ගජපති රාජු සිය නම නොපවසමින් අදාළ ප්‍රකාශය කියවාගෙන ගියේය. මෙහිදී රාජු ගේ දිවුරුම් දීමට බාධා කළ ජනපතිවරයා ඔහුට සිය නම සහිතව නැවත එම ප්‍රකාශය පවසන ලෙස ඉල්ලා සිටියේය.

දිවුරුම්දීමේ උත්සවයට තිබූ විශාල අඩුපාඩුවක් ලෙස පෙනෙන්නට තිබුණේ ජලයය. අපේ රටේ වුවද උත්සවයක අවස්ථාවක සියලු ප්‍රභූවරුන් අත ජල බෝතලය බැගින් තිබෙනු දැකිය හැකි වුවද මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයේ සංවිධායකවරුනට ජලය අමතකව තිබූ බැව් පෙනුණි. දැඩි හිරු රශ්මිය නිසා සියලු දෙනාගේම උගුරකට වියැලී යන්නට පටන් ගැනුණු සේය. මේ තත්වය දරාගැනීමට නොහැකි වූ තැන අරුන් ජැට්ලි (ඔහු වර්තමාන මෝදි රජයේ මුදල් හා ආරක්ෂක අමාත්‍යවරයාය) ගේ පුත් රොහාන් ජැට්ලි විජලන තත්වය නිසා ක්ලාන්තව ඇදවැටුණි. ඔහුව සජලනය කිරීම පිණිස අසල ඇති රෝහලකට රැගෙන යන්න සිදුවිය.

අරුන් ජැට්ලි

අධික උණුසුම් තත්වය දිවුරුම්දීමේ උළෙලට දැඩි බාධාවක් සේ පෙනුණි. සියලු දෙනා පසුවූයේ දැඩි අපහසුතාවයකිනි. ජනපති මුඛර්ජි දිවුරුම්දීමේ කටයුතු වේගවත් කරන්නට සිතුවේ ඒ නිසා වන්නට හැකිය. ඔහු සිය ලේකම් ඔමිතා පෝල් හට ඒ බැව් දැනුම් දුන්නේය. නජ්මා හෙප්තුල්ලා (ඇය වර්තමාන මෝදි රජයේ සුළු කටයුතු පිළිබඳ ඇමතිනියයි) දිවුරුම්දී අත්සන කරන අතරතුරේදීම ජනපතිවරයා මෙසේ පවසනු ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ සියලු දෙනාටම අසුණි. ඔයා නිවේදනය කරන්කෝ. එයාලා වෙලාව ගන්නවා.පෝල් කිසිදු අඩුපාඩුවක් නොතබාම ඔහුගේ උපදෙස් පිළිපදින බැව් පෙනුණි.

වරණාසි නුවර වැසියෝ නරේන්ද්‍ර මෝදි අගමැතිධූරයට පත්වීම උත්කර්ෂවත් ලෙස සැමරූහ. ඔවුහු ගංගා නදී තීරය අසබඩ පාර්ලිමේන්තු මන්දිරයේ වැලි අනුරුවක් ඉදි කළහ. භාරතීය ජනතා පාක්ෂිකයෝ හිරු උදාවත් සමඟ නංගා නදියෙහි බැස ආගමික වතාවත් සිදුකරනු දක්නට හැකි විය. ඔවුහු නදියෙහි ස්නානයට පැමිණි පිරිසට රසකැවිලි බෙදා දුන්හ.

ඇසෑම් හි සිතුවම් ශිල්පියකු වන ගෞතම් බර්ධාන් කළේ තවත් පුදුමාකර දෙයකි. ඔහු සිය රුධිරයෙන් නරේන්ද්‍ර මෝදිගේ රුව සිත්තම් කළේය. අඟල් 35ක ප්‍රමාණයේ වූ මෙම ආලේඛ්‍ය සිත්තමෙහි වර්ණ තුනකින් යුක්ත පරෙවියෙකු සහ ස්වාමි විවේකානන්දගේ මුහුණ ද විය.

නරේන්ද්‍ර මෝදිගේ මව වන හිරාබාසහ සහ බිරිඳ වන ජසෝබාඩෙන්මෙම දිවුරුම් දීම සිය ඇසින් දකින්නට දිල්ලියට ගියේ නැත. මව එය රූපවාහිනිය තුළින් නැරඹුවේ ගාන්ධිනගර් හි වෙසෙන සිය බාල පුතුවන පන්කජ් මෝදිගේ නිවසේ සිටය. 95 වියැති හිරාබා දිල්ලියේ උත්සවයට සහභාගීවන්නට තරම් නිරෝගී තත්වයක පසු නොවූවාය. මෝදි දිවුරුම් දෙන අවස්ථාවේදී ඔවුහු අත්පොළසන් දෙමින් මෝදිගේ ජනප්‍රියතම උදාන වදන් දෙකක් වන භාරත් මාතා කි ජායි’ (භාරත මාතාවට ජය වේවා) සහ වන්දේ මාතරම්’ (මවුනි, මම ඔබ පසසමි) යන්න පැවසූහ. සියලු තැන රතිඤ්ඤා හඬ ඇසුණි. හිරාබාගේ සහ පන්කජ්ගේ දෑස්වලින් මතුවූ කඳුළු කම්මුල් ඔස්සේ රූරා වැටුණි. දැනට දැනගන්නට ලැබී ඇති කරුණුවලට අනුව ඉන්දීය පුරවැසියකු අගමැති ලෙසින් දිවුරුම් දෙනවිට එය දකින්නට ඒ කිසිවකුගේ මව ජීවතුන් අතර සිට නැත. ඉන්දීය ඉතිහාසයේ එවැනි අවස්ථාවක් දක්නට ලැබුණු ප්‍රථම අවස්ථාව ද මෙය විය.







මෝදිගේ බිරිඳ වන ජසෝබාඩෙන් මෙහ්සානා සිට සිය සැමියා ඉන්දියාවේ අගමැති ලෙස දිවුරුම්දීමේ උත්සවය රූපවාහිනියෙන් නැරඹුවාය. මෝදිගේ උපන් ගම වන වාද්නගර් හි සතුට උතුරා යමින් තිබිණි. රතිඤ්ඤා හඬ දසත රැව්දුනි. සිය පොලොවේ පස්වලින් උපන් පුතුවෙනුවෙන් උද්දාමයට පත්   ගම්වැසියෝ සතුටින් නැටූහ.

2 comments:

  1. මෝදි බිරිඳගෙන් වෙන්වෙලා ඉන්නවද මොකක්ද කතාවකුත් පහුගිය දවස්වල කියවුනා නේද?

    ReplyDelete
    Replies
    1. වෙන්වෙලා වගේ තමයි මේ කියන විදියට ඉදලා තියෙන්නේ

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න