පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, August 14, 2014

රීචාර්ජබල් විදුලි කෝෂ නැති වෙයිද? - Future of NI-CD rechargeable Batteries



වර්තමානයේ අප භාවිත කරන ජංගම දුරකතන, ලැප්ටොප් හා විද්‍යුත් මෝටර් රථ යන සියල්ල සඳහාම බලය ලබාගන්නේ නැවත නැවත ආරෝපණය කළ හැකි විදුලි කෝෂවලිනි. ලෝකයේ ඇති සැහැල්ලුතම ලෝහය වන ලිතියම් මේ සියල්ල නිපදවීම සඳහා යොදාගනු ලබයි. මේ ලෝහය ඔබේ මොලය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කරන බව ඇතැම්විට ඔබ නොදන්නවා විය හැකිය. උමතු විෂාදය සඳහා ප්‍රතිකාරකිරීමේදී යොදාගනු ලබන ඔසු අතර ක්‍රියාකාරී ද්‍රව්‍යයක් වන්නේ ලිතියම් ය.

ආරෝපණය කළ හැකි විදුලි කෝෂ නිපදවීම සඳහා සාම්ප්‍රදායිකව යොදාගනු ලැබුයේ නිකල් හා කැඩ්මියම් යන ලෝහයන් ය. මේවා හඳුන්වනු ලැබුයේ නිකල් - කැඩ්මියම් (Ni-Cd Battery) නමිනි. නමුත් ලිතියම්වලින් නිපදවනු ලබන විදුලි කෝෂවල ධාරිතාවය නිකල් - කැඩ්මියම්වලට වඩා දෙගුණයක් පමණ වේ. මේ නිසා ලොව පුරා ලිතියම් ප්‍රබෝධයක්දක්නට හැකිවිය. 2013 වසරේදී චීනයේ ලිතියම් බැටරි හේතුවෙන් ජංගම දුරකතන අළෙවිය 57%කින් වර්ධණය වූ අතර 2014 වන විට ඉන්දියාවේ ජංගම දුරකතන අළෙවිය දෙගුණ වේ යැයි අපේක්ෂා කෙරේ.

ලිතියම් විදුලි කෝෂවල කාර්යක්ෂමතාවය එසේ වුවත් මේ සම්බන්ධව කණගාටුවට කරුණක් ද තිබේ. ඒ ලිතියම් යනු සොයාගැනීමට හා කැණීමට දුෂ්කර ලෝහයක් වීමය. සෑම තැනින්ම හමුවන්නේ ලිතියම් ඉතා සුළු ප්‍රමාණයක් පමණි. ක්ෂීරපායී සතුන්ගේ සිරුරේ ද ලිතියම් සුළු ප්‍රමාණයක් අඩංගුය. මේවා බහුලව හමුවන්නේ ක්ෂාරමය ස්වභාවය අධික, වියැළී ගිය විල් පතුල්වලිනි. නමුත් ලෝකයේ මෙවැනි ස්ථාන ඇත්තේ ඉතා ස්වල්පයකි.

ලිතියම් අධික ලෙස හමුවන ස්ථානයක් වන්නේ බොලීවියානු ඇන්දීස් කඳුකරයයි. එමෙන්ම චිලිය, චීනය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ද සුළු වශයෙන් ලිතියම් හමු වේ. එමෙන්ම ඇෆ්ගනිස්ථානයේ යුදමය වාතාවරණය නිසා මෙතෙක් කිසිවකුගේ කැණීම්කට ලක්නොවූ දැවැන්ත ලිතියම් නිධියක් ඇති බැව් මෑතකදී ඇමරිකා එක්සත් ජනපදයෙන් කාන්දු වූ රහස් ලියවිල්ලකින් හෙළිකරගත හැකි විය. බොලීවියානු ජනපති ඒවෝ මොරාලෙස් පැවසූයේ සිය ලිතියම් නිධි කැණීම සඳහා විදෙස් ආයෝජකයන්ට අවසර නොදෙන බවය. නමුත් පවතින අධික ඉල්ලුමට සරිලන අයුරින් ඉහළ ගුණත්වයෙන් යුක්ත ලිතියම් නිෂ්පාදනයක් වෙළෙඳපළට ඉදිරිපත්කරන්නට හැකිවේද යන්න අවිනිශ්චිත බැව් පෙනෙන්ට තිබේ. ඇමරිකා එක්සත් ජනපදය පසුගිය වසරේදී නිවේදනය කළේ නෙවාඩා කාන්තාරයේ ඇති ලිතියම් නිධි කැණීමෙන් ටොන් මිලියන 11ක පමණ ලිතියම් නිෂ්පාදනයක් ලබාගන්නට අපේක්ෂාකරනා බවය.


කෙසේ මුත් ලිතියම් ලෝහයේ ඇති හිඟතාවය නිසාම ලැප්ටොප් පරිගණකවල මිල ඉහළයාමට ඉඩ ඇති බැව් පෙනෙන්නට තිබේ. අලුතින් ලිතියම් නිධි සොයාගන්නට නොහැකි වුවහොත් මේවන විට ලෝකයේ ජනප්‍රියව පවතින දෙමුහුන් (hybrid) මෝටර් රථවල නිෂ්පාදනයට වසර 2015 වන විට දී විශාල ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි සුප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන මිට්සුබිෂි ආයතනය අනාවැකි පළකරයි. ඇමරිකානු ජනපති ඔබාමා පවසන්නේ 2015 වන විට අඩුම තරමේ වැඩිදියුණු කළ හයිබ්‍රිඩ් වාහන මිලියනයක්වත් ප්‍රවාහනයට එක් කළ යුතු බවය. නමුත් ලිතියම් විදුලි කෝෂ තරම් දීර්ඝ වේලාවක් ආරෝපණය රඳවාගන්නට සාම්ප්‍රදායික නිකල් - කැඩ්මියම් විදුලි කෝෂවලට හැකියාවක් නැත. එය අනාගත දෙමුහුන් මෝටර් රථ නිෂ්පාදනයට දැවැන්ත බාධාවකි. අනෙක නැනෝ තාක්ෂණය සඳහා ද අධික ලිතියම් ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේ අනුව අනාගත විදුලි ආරෝපණ තාක්ෂණය උදෙසා විකල්පයක් සොයාගැනීමට නොහැකි වුවහොත් විශාල ගැටලු රැසක් ඇතිවනු ඇතැයි දැනටමත් අනතුරු හඟවා තිබේ.

4 comments:

  1. හුටා...
    මං හිතං හිටියෙ ලිතියම් අයන් එච්චර අවුලක් නැති දෙයක් කියල...
    ඕක ටිකක් රත් වුනොත් බොම්බයක් වගේ නේහ්

    ReplyDelete
    Replies
    1. තව ටික දවසක් යනකොට රත්තරන්වලටත් වඩා වටිනාකහක් ලැබෙයි.

      Delete
  2. අනාගතේ යුද්ධ ඇතිවෙන්නෙ තෙල් වලට නෙවේ ලිතියම් සහ Rare Earth Element

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. Avatar චිත්‍රපටයත් ඒ වගේ එකක් නේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න