පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, December 25, 2014

ප්‍රිසන් බ්‍රේක් ක්‍රියාදාම ටෙලි නාට්‍යය - Prison Break Action TV Series


ප්‍රිසන් බ්‍රේක්’ (Prison Break)  කියන්නේ මේ දිනවල සඳුදා සිට සෙනසුරාදා දක්වා ජාතික රූපවාහිනිය ඔස්සේ රාත්‍රී 9ට විකාශනය වන ක්‍රියාදාමවලින් පිරුණු කතාවක්. කුතුහලය සහ ක්‍රියාදාමවලට කැමති ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් දැනටමත් මෙය නරඹන්නට එකතුවී සිටිනවා. ඒ නිසාම අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවා. 

ප්‍රිසන් බ්‍රේක්කියන්නේ ක්‍රියාදාමවලින් පිරුණු ඇමරිකානු   ටෙලි නාට්‍යයක්. කතා මාලා 4කින් යුක්තව 2005 - 2009 යන කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ ෆොක්ස් නම් නාලිකාව ඔස්සේ ඉතා සාර්ථකව විකාශනය වුණා. කතාවේ නිර්මාණය පෝල් ෂූරින් විසින් කර තිබෙනවා. 



සහෝදරයන් දෙදෙනෙකු වටා කතාව ගළා යනවා. මෙයින් එක් සහෝදරයකු නොකළ වරදකට මරණ දඬුවම නියම වී සිරගතව සිටින කෙනෙක්. අනෙක් සහෝදරයා කුමක් හෝ සැළසුමක් ක්‍රියාත්මක කරලා තමන්ගේ සහෝදරයා සිර ගෙයින් නිදහස් කරගෙන ඔහුට ඇති වී තිබෙන අපකීර්තිය නැති කරන්නට උත්සාහ ගන්නවා. සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් වන ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස්සමාගම සමග එක්ව පෝල් ෂූරින්ග්, මැට් ඔල්ම්ස්ටඩ්, කෙවින් හූක්ස්, මාරිටි ඇඩෙල්ස්ටෙයින්, ඩෝන් පරාවුස්, නීල් එච්. මොරිට්ස් සහ බ්‍රෙට් රැට්නර් යන කණ්ඩායම විසින් මෙය නිෂ්පාදනය කොට තිබෙනවා. සංගීතය රාමින් ජාවඩි විසින් නිර්මාණය කොට තිබෙන අතර 2006 වසරේදී ප්‍රයිම් ටයිම් එමිසම්මානය සඳහා මෙය සුදුසුකම් ද ලැබුවා. 

මෙම කතා මාලාම මුළින්ම නිෂ්පාදනය කරන්නට සැළසුම් කොට තිබුණේ ෆොක්ස් සමාගම මගින් වුවත්, ලාබ ලැබීමට නොහැකි වේ යැයි තිබූ අවදානම නිසා ඔවුන් මෙය අතහැර දැමුවා. පසුව වෙනත් නිෂ්පාදන කණ්ඩායමක් මෙය නිෂ්පාදනය කොට සාර්ථක ප්‍රතිඵල ලැබූ පසු ෆොක්ස් සමාගම ඔවුනට මූල්‍ය අනුග්‍රහමය ලබාදෙන්නට කැමැත්ත පළ කළා. 


මෙම කතා මාළා හතරම සඳහා එක සමාන දායකත්වය සළසන නිශ්චිත රංගන ශිල්පීන් කණ්ඩාමක් සිටිනවා. ඊට අමතරව ආරාධිත නළු නිළියන් විටින් විට අවශ්‍යතාවය අනුව යොදා ගැනෙනවා. ඩොමිනික් පර්සෙල් (ලින්කන් බරෝස් ලෙස) කතා මාළා 1 - 4 දක්වා ද, වෙන්ට්වර්ත් මිලර් (මයිකල් ස්කොෆීල්ඩ් ලෙස) කතා මාළා 1 - 4 දක්වා  ද ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායකත්වය ලබාදුන්නා. ඊට අමතරව රොබින් ටනී, මාර්ෂල් අල්මාන්, අමෝරි නොලස්කෝ, රොබර්ටෝ නෙපර් ඇතුළු ශිල්පීන් බොහෝමයක් මෙයට දායකත්වය ලබා දී තිබෙනවා. 

මෙහි පළමු කතා මාළාවෙන් කියැවෙන්නේ ලින්කන් බරෝස් සිරගෙයින් මුදාගන්නා කතාවයි. මෙහිදී 8 දෙනෙක් සිරෙන් නිදහස් වෙනවා. දෙවැනි කතා මාළාවෙන් සිරෙන් නිදහස් වී ගෙවී යන පළමු පැය 8 ගැන කියැවෙනවා. සිරෙන් නිදහස් වූ පිරිස පැනමාවේ ගත කරන කාලය පිළිබඳව තුන්වැනි කතා මාළාවන් පෙන්වනවා. සිව්වැනි හා අවසන් කතා මාළාවෙන් මේ පිරිස අතර සිටි එක් අයකුගේ දරුවා හා  බිරිඳ පැහැරගැනීමකට ලක්වීමත්, ඔවුන්ව බේරාගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවත් කියැවෙනවා. 

ප්‍රිසන් බ්‍රේක්මුල් කතා මාළා 3 ම රූපගත කෙරුණේ හොලිවුඩයෙන් පිටතපිහිටි දර්ශන තලවලයි. ඒ අතරින් චිකාගෝවල පිහිටි බන්ධනාගාරයක් මේ සඳහා වැඩි වශයෙන් යෙදාගත්තා. නමුත් 2002 වසරේදී එය වසා දැමුණු නිසා 4 වැනි කතා මාළාව සම්පූර්ණයෙන්ම රූපගත කෙරුනේ ඉලිනොයිස් ප්‍රාන්තයේ ඇති ජොයිලට්බන්ධනාගාරයේ. මෙහි ලින්කන් සිටි සිර මැදිරිය ගැන ද විශේෂයෙන් සඳහන් කළ යුතුයි. 1972 - 1975 අතර කාලයේ  මිනීමැරුම් ගණනාවක් එක දිගට සිදු කළ ඝාතකයකු (serial killer) වූ ජෝන් වේනී ගේසි රඳවා තිබුණේ ද මේ සිරමැදිරියේමයි. මෙහි නිෂ්පාදන කණ්ඩාමේ එක් සාමාජිකයකු මෙම සිරමැදිරියට ඇතුළුවීම ප්‍රතික්ෂේප කළා. ඒ මෙහි එම ඝාතකයාගේ ආත්මය හොල්මන් කරන බවට පැතිර තිබූ විශ්වාසය නිසයි. 

4 වැනි කතා මාළාවට පසුබිම් වී තිබුණේ පැනමාව වුණත්, ඒ සියල්ල රූපගත කොට තිබුණේ ෆ්ලොරිඩාවේ පැනස්කෝලා ප්‍රදේශයේයි. 

ප්‍රිසන් බ්‍රේක් කතා මාළාවේ මයිකල් ස්කොෆීල්ඩ්ගේ සිරුරේ කොටා ඇති පච්චා මෝස්තර ගැන බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයකට ලක් වූ දෙයක්. මෙම පච්චා මෝස්තර අතරේ තමයි සිරෙන් පැන යාම පිළිබඳ සියලු තොරතුරු සටහන් වී තිබෙන්නේ. මෙම පච්චා මෝස්තර තුන්වැනි කතා මාළාව දක්වා පෙනෙන්නට තිබෙන අතර 4 වැනි කතා මාළාවේදී එය පෙනෙන්නට නැහැ. හේතුව කතාවේ හැටියට එය ඉවත් කරන නිසයි. ඇත්තටම මෙහිදී මෙම නළුවා කරන්නේ පච්චා මෝස්තර සහිත සියුම් සිවියක් වැනි ටී ෂර්ට් එකක් ඇඳගෙන සිටීමයි. 

මෙහි මුල් කතා මාළා දෙක ප්‍රේක්ෂකයන් මිලියන 9කට අධික පිරිසක් නරඹා ඇති අතර 3 වැනි කතා මාළාව මිලියන 8ක් ද, 4 වැනි කතා මාළාව මිලියන 6ක් ද නරඹා තිබෙනවා. සම්පූර්ණ කතා මාළා 4 මිනිත්තු 45කින් යුක්ත කොටස් 81කින් යුක්තයි.  මෙහි එක් කොටසක් රූපගත කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.4 - 2 ත් අතර මුදලක් වැයවී තිබෙන බවයි පැවසෙන්නේ. අන්තර්ජාල චිත්‍රපට දත්තමූල වෙබ් අඩවිය’ (Internet Movie Database) හෙවත් IMDB හි මෙම රූපවාහිනි කතා මාළාව සඳහා ලැබී ඇති අගැයුම් ලකුණු ප්‍රමාණය 8.6ක් වනවා. එවැනි ලකුණු ප්‍රමාණයකින් කියැාවන්නේ මෙය අතිශය ජනප්‍රිය කතා මාළාවක් බවයි.

2 comments:

  1. අැත්තට ම පිස්සුවෙන් වගේ මේ කතා ටිකම මාස කිහිපයකට උඩදි බලලා ඉවර කරා...... ඒත් පළවෙනි කතා මාලාව තරම් අනික් ඒකක් වත් ලස්සන නැහැ.... කාලයක් පිස්සු වැටිලා හිටපු කතා මාලාවක් ගැන නොදන්නා දේවල් ලියුවාට තුති... ඒත් රූපවාහිනියේ යන ඒක නම් ටිකක් කෑලි කපලා හදපු ඒකක්.....

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒක ඇමරිකාවේ ප්‍රේක්ෂකයන්ටත් පොදු දෙයක් වෙන්න ඇති. මේකේ මුල් කතා මාලෘව නරඹපු පිරිස් මිලියන 9 සිට අවසාන කතා මාළාව වෙද්දි මිලියන 6 දක්වා අඩුවී තිබෙනවා. බොහෝ චිත්‍රපටවලත් මෙයද දක්නට ලැබෙනවා. කොටස් කිහිපයක් ඔස්සේ ධාවනය වන චිත්‍රපටවලත් පළමුවැන්නට තරම් ප්‍රේක්ෂක පිරිසක් අනෙක් ඒවාට ආකර්ෂණය කරගන්නට බැහැ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න