පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Wednesday, June 4, 2014

අත්අකුරින් හෙළිවන ඔබේ ජීවිතය - What handwriting reveal about you


අත් අකුරු කියන්නේ කෙනෙකුගේ අනන්‍යතාවය පෙන්වන දේවල් අතුරින් එක් ප්‍රධාන දෙයක්. මේවා කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස්. කොහොම වුණත් අද කාලේ නම් පාසල් ජීවිතෙන් පස්සේ කෙනෙකුගේ අත් අකුරු දකින්න ලැබෙන්නේ හරි කලාතුරකින්. මොකද අත්අකුරුවල පාවිච්චිය තාක්ෂණයට යට වෙලා. ඉස්සර ලියුම් යැව්වත් දැන් ලියන්නේ එස්.එම්.එස්. එහෙමත් නැත්නම් ඊමේල්. හැම කෙනෙකුගේ අතේම ජංගම දුරකතනයක් තියෙනවා. ඉස්සර වගේ ලියුම් ලිය ලියා කරදර වෙන්න ඕන නැහැ. ඒ තරමට නොසළකා හරින තත්වයට අත් අකුරු පත් වුණත් අර කලින් කිව්ව ගුණය නිසා එක් එක් පුද්ගලයන්ගේ ගතිගුණ ගැන විශ්ලේෂණය කරන්න අත් අකුරු යොදා ගන්නවා. සමහරවිට ඔබ මෙය අසා තිබෙනවා වන්නටත් පුලුවන්. ඒත් කරන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් තියෙන්න නැතිව ඇති. අද අපි කතා කරන්න යන්නේ අත් අකුරුවලින් කෙනෙකුගේ ගතිගුණ ගැන අදහසක් ලබාගන්නේ කොහොමද කියන එක ගැනයි.

මුළින්ම හිස් කඩදාසියක් ගන්න. ඒකේ මේ තියෙන වාක්‍යය ලියන්න. පේළි අතර ඉඩ තියලා ඔබ සාමාන්‍යයයෙන් ලියන විදියට ලියන්න. හිතලා මතලා ලස්සන අකුරු ලියන්න උත්සාහ කරන්න එපා. එහෙම වුණොත් ඔබට ලියවෙන්නේ ඔබේ සාමාන්‍ය අත් අකුරු නෙවෙයි.
මේ සඳහා අපි යොදාගන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් එන වාක්‍ය කිහිපයක්. මොකද මෙහි මූලාශ්‍රය අරගත්තේ ඉංග්‍රීසි බසින් නිසයි.

'Well!' thought Alice to herself, 'after such a fall as this, I shall think nothing of tumbling down stairs! How brave they'll all think me at home! Why, I wouldn't say anything about it, even if I fell off the top of the house!' (Which was very likely true.)
Alice's adventures in wonderland
Lewis Carroll


ලියලා ඉවරද? මේ තරම් ඉක්මණට? හරි දැන් අපි බලමු මොනවද ඔබේ අත් අකුරු ඔබ ගැන කියන්නේ කියලා.
1. අත් අකුරුවල විශාලත්වය කෙහොමද?
            මිලි මීටර් 7 කට වඩා විශාලයි
            මධ්‍යම ප්‍රමාණයෙන්, ඒ කියන්නේ මිලි මීටර් 4 - 6  අතර
            කුඩා ප්‍රමාණයෙන්, ඒ කියන්නේ මිලි මීටර් 2 - 3  අතර
            හොඳටම පුංචියි. කූඹි කකුල් වගේ. ඒ කියන්නේ මිලි මීටර් 2කට වඩා අඩුයි

2. අත් අකුරු ඇලවෙලා තියෙන් ආකාරය කොහොමද?
            වමට බරයි
            තදින්ම වමට බරයි
            කෙළින් ලියැවුණු අත් අකුරු
            දකුණට බරයි
            තදින්ම දකුණට බරයි
            කියවාගන්න බැරි තරම් ඇලයි

දැන් අපි බලමු ඔබේ අත්කුරුවලින් මොනවද හෙළිවෙන්නේ කියලා.

1. අත්අකුරුවල ප්‍රමාණය

විශාල අත් අකුරු

ඔබට එක්නෙකට වෙනස් පුද්ගලයන් සමඟ දැන හැඳුනුම්කම් තියෙනවා. ඒ වගේම ඔබට බොහෝ මිතුරන් සිටිනවා. ඔබ ඕනෑම දෙයක් විවෘතව කියන කෙනෙක්. අනෙක් අයත් එක්ක හොඳින් කතා බහ කරනවා. අනෙක් අයට උපදෙස් දෙන්න ඔබ කැමතියි. ඇතැම් අවස්ථාවලදී ඒ උපදෙස් ප්‍රායෝගික නොවෙන්නත් පුලුවන්. අනෙක් අයට අවනත නොවෙන ස්වභාවයක් තියෙනවා. පීඩනය, කලබලකාරී බව යටතේ ඔබට සාර්ථකව වැඩකටයුතු කරන්න බැහැ. ඒ වගේම ඔබ ඉළක්ක සපුරාගන්නත් දක්ෂයි.

විශාල අත්අකුරු ඇති ඔබේ ඇතැම් අකුරු නියම සවභාවයෙන්ම යුක්ත යැයි පෙනෙන්නේ නම් ( නියම ස්වභාවය කියා අදහස් කළේ මුද්‍රිත අකුරුවලට බොහෝ සමාන නම්) ඔබ අලුත් විදියට හිතන කෙනෙක්. ඒ වගේම ඔබ යම් යම් දේවල්වල වැඩි විස්තර සොයන්න උනන්දුවක් නැහැ. ඔබේ කැපිටල් අකුරුවල නියම ස්වභාවයක් ඇත්නම් එයින් කියවෙන්නේ අනෙක් අයට අණ දීමේ හැකියාව ඔබට පවතින බවයි. ඔබට හැමෝම ප්‍රිය කරනවා. ඔබට අනෙක් අයගේ ආකර්ෂණය තිබෙනවා.

මධ්‍යම ප්‍රමාණයේ අත්අකුරු

ඔබ ඕනෑම දෙයක් නිවැරදි, තාර්කික ආකාරයෙන් කරන කෙනෙක්

කුඩා ප්‍රමාණයේ අත් අකුරු

ඔබ සැම දෙයක් ගැනම දැඩි අවධානය යොමු කරන්න කැමති කෙනෙක්. සියුම් වැඩවලට කැමති ඔබ සෑම දෙයකම විස්තර තදින් සොයා බලනවා. ඔබ හොඳ නිරීක්ෂකයෙක්. ඔබ කඩයක් තේ බොනවා නම්, ඒ අතරේ එහි ඇතුළේ සිදුවන හැමදෙයක් ගැනම හොඳ අවධානයෙන් ඉන්න කෙනෙක්. හැම දෙයක්ම සැළසුම් කරන ඔබ හැම දෙයක්ම කාලයට පෙර අවසන් කරන්න උත්සාහ කරනවා. ප්‍රතිලාභයක් නෙැලැබෙන කිසිම දෙයක් කරන්න ඔබේ සිතේ ලොකු කැමැත්තක් නැහැ. හොඳ රස වින්දනයක් ඔබට තිබෙනවා. බුද්ධිමත් බවකින් යුක්ත ඔබ එවැනි අයව ඇසුරු කරන්නට කැමතියි. ඔබ ආත්මවාදියෙක් වෙන්න පුලුවන්. ඒ කියන්නේ ඔබේ හැඟීම් සඟවාගෙන ජීවත්වෙන කෙනෙක් වෙන්න පුලුවන්. බොහෝ රහස් දේවල් ඔබ ළඟ තිබිය හැකියි.

අත් අකුරු කුඩා ප්‍රමාණයේ එකිනෙකට බැඳුණු ඒවා නම් (වැල් අකුරු)

මෙයින් කියවෙන්නේ නිවැරදිතාවය හා සෑම දෙයකම සවිස්තරභාවට ඇති කැමැත්තයි. නියමිත වේලාවට වැඩකරන ඔබ සමාව දෙන්න අකැමති කෙනෙක්. ඒ වගේම ඊර්ෂ්‍යාසහගතබව ඔබ තුළ තිබෙනවා. ඔබ හුඟක් වෙලාවට ඔබේ අගය වැඩි කර පෙන්වන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ගණන් උස්සන්නකැමති කෙනෙක්. මේක බොහෝ විට කරන්නේ පවුලේ අයට සහ ළඟම ඉන්න හිතවතුන්ට. හුඟක් දේවල්වලින් ඔබ සතුටට පත්වෙන්නේ නැහැ. ඇතැම් වෙලාවට ඔබෙන් මොනවගේ ප්‍රතිචාරයක් ලැබේද කියලා අනෙක් අයට අනුමාන කරන්න බැරි අවස්ථා තිබෙනවා. ඒ කියන්නේ අනෙක් හැමෝටම සතුටුදායක අවස්තාවක් ඔබට නුරුස්සනා දෙයක් වෙන්න පුලුවන් වගේ දෙයක්. ඔබට හොඳ ප්‍රතිලාභයක් ලැබෙනවා නම් පමණක් හොඳ මුහුණක් පෙන්වනවා.

කූඹි ප්‍රමාණයේ අත් අකුරු

නීති, උපදෙස්, යම් යම් ක්‍රියා පටිපාටීන් ගැන තදින්ම උනන්දුවක් දක්වනවා. හැම දෙයක්ම නීතියට, අකුරට සිදුවෙන්න ඕනෑ කියලයි ඔබ සිතන්නේ. අනවශ්‍ය කුඩා දේ ගැන ඕනෑවට වඩා සොයනවා. ඔබේ මේ ගතිගුණ නිසා අනෙක් අය ඔබට ඒ තරම් කැමැත්කත් දක්වන්නේ නැති වෙන්න පුලුවන්.

වචනයක් ලියැවීගෙන යනකොට ඇතැම් අයගේ අත් අකුරු ටික ටික විශාල වෙන පෙනුමක් තියෙනවා. ඔබේ අත් අකුරු ඒ විදිහ නම් එයින් කියවෙන්නේ ඔබ දුන්න වචනයක් ඒ විදියටම ඉටු කරන බව හා විශ්වාසදායක බවයි. ඒ වගේම වචනය අවසන් වනවිට අකුරු ටිකෙන් ටික පුංචි වෙනවා නම් එයින් කියවෙන්නේ අවධානය, නුවණක්කාර බව හා කපටි කමයි.

දැන් අපි අත්අකුරුවල ඇල ස්වභාවය ගැන හොයා බලමු

ඔබේ අත්අකුරුවල ඇල ස්වභාවය මගින් කියැවෙන්නේ ඔබේ මානසික තත්වයයි. ඔබේ සිතෙහි භාවාත්මක බව අධික නම් ඇල ස්වභාවය ඉතා වැඩි වෙන්න පුලුවන්.

වමට බර නම්

ඔබේ අත්අකුරු මේ ආකාරයෙන් නම් ඔබ බොහෝ දේවල් සඟවාගෙන ඉන්න කෙනෙක්. පසුබටයි. කලාත්මක රසයක් නැහැ.

අත් අකුරු වම් පැත්තට බොහෝ බරවී ඇත්නම්

ඔබ හැඟීම් යටපත් කරගෙන ජීවත්වෙන්න උත්සාහ කරන නෙකේ. මේ නිසා ඇතැම් විට දිගුකාලයක් පුරා දොම්නස් ස්වභාවයෙන් පසුවන්නත් පුලුවන්. ඔබ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන කෙනෙක්.

අත් අකුරු සෘජු නම්

හැඟීම් ඔබට අවහ්‍ය පරිදි පාලනය කරගන්න දක්ෂ කෙනෙක්. ඒවා සමබරව පවත්වාගෙන යනවා. නායකත්වයක ලකුණු පෙන්නුම් කරනවා. හැම දෙයක් ගැනම සමබරව සිතන ඔබ කළ යුත්තේ කුමක්දැ කියන එක ගැන මනා අවබෝධයෙන් සිටිනවා. හදිසි අවස්ථාවලදී තීරණගැනීමට ඔබටට තරමක් අපහසුයි. ඔබ දැඩි ප්‍රකෝපකාරී මානසික තත්වයකින් සිටින අවස්ථාවක වුවත් ඔබ එම හැඟීම් පෙන්වන්නට උනන්දුවන්නේ නැහැ. ඔබ හැඟීම් නිදහස්ව හෙළිකරන කෙනෙක් නෙවෙයි. නමුත් ඔබ කරන වැඩකටයුතුවලින් ඔබේ ඇතැම් හැඟීම් හෙළිවන්නට පුලුවන්.

අත් අකුරු දකුණට බරයි නම්

ඔබ කලාත්මක රසවින්දනයකින් යුක්ත කෙනෙක්. ඔබට ඔබේ වගේම අනෙක් අයගේ හැඟීම් ද හොඳින් තේරුම්ගන්න පුලුවන්. අනෙක් අයට ඕන දෙයක් තේ්රුම් කරලා දෙන්නත් පුලුවන්. ඒ වගේම අවශ්‍ය නම් ඔබට හැඟීම් සිතේ තදකරගෙන ඉන්නත් පුලුවන්. ඔබ මිත්‍රශීලියි. කතා බහට බොහෝ කැමතියි.

දකුණු පැත්තට හොඳටම බරයි නම්

ඔබට ඔබේ හැඟීම් සඟවාගෙන ඉන්න අපහසුයි. ඔබට දැනෙන හැඟෙන දේ අනෙක් අයට පහසුවෙන්ම පෙනෙනවා. බොහෝ දේවල්වල වැරදි දකින ඔබ කුඩුකේඩුකම් හිතේ තියාගෙන ඉන්න කෙනෙක්. ඇතැම් අවස්ථාවලදී ඔබේ හැඟීම් අන්තවාදී ස්වභාවයක් ගන්න පුලුවන්. ඒ වාගේම කිසි තේරුමක් නැති දේවල් කරන්නත් ඉඩ තියෙනවා. ආදර සම්බන්ධතාවලදී ඔබ ඔබ මුදුනා වන්න උත්සාහ කරනවා. ආදර සම්බන්ධයක් නතර වුණොත් ඔබ අතහැරගිය සහකරුට හෝ සහකාරියට සදාකාලිකව වෛර කරන්නත් ඉඩ තියෙනවා.

කියවාගන්න බැරි තරම් ඇලයි නම්

මෙවැනි තත්වයක් ඇත්නම් මෙතැන ඇත්තේ මානසික ස්වභාවයේ අඩුපාඩුවක්.


1 comment:

  1. මට හිතෙන්නේ මේකත් පත්තරේ ලග්න පලාපල වගේ තමා. අකුරු ලොකුයි කියල හිතාගෙන කියෙව්වොත් හිත කියනවා එක හරි කියල. අකුරු පොඩි කියල කියෙව්වත් එක හරි කියල හිත කියනවා.

    මම"ජිවිතයට science" Blog එකෙන්

    ReplyDelete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න