පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Sunday, June 29, 2014

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ කතාව - Story of Android Operating System

කිට්කැට් සංස්කරණය සහිත දුරකතනයක් 

වර්තමානයේ ජංගම දුරකතන තරම් වේගයෙන් තාක්ෂණය දියුණුවන්නා වූ අන් උපකරණයක් නැති තරම් ය. අද අප කතා කරන ජංගම දුරකථනයට වඩා නවීන තාක්ෂණයෙන් යුක්ත ඒවා හෙට දවසේ වෙළෙඳ පළින් මිලදී ගන්නට පුළුවන. මෑතක් වනතුරුම ලෝකයේ ජංගම දුරකතන ජනප්‍රිය වූයේ ඒවායේ වෙළෙඳ නාමයන්ගෙනි. වෙළෙඳ නාමය අදටත් වලංගු වුවද දැන් බොහෝ දෙනා අසන්නේ මේක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්ද?” කියාය. කවුරුත් පවසන මේ ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්ද? එය ජංගම දුරකතන මාදිලියක්ද? වෙළෙඳ නාමයක්ද? මේ කතා කරන්නට සැරසෙන්නේ ඒ පිළිබඳවය.

මෙම ඡායාරූපයේ මැද සිටින්නේ ඇන්ඩි රූබන් ය. 


ඇන්ඩ්‍රොයිඩ් යනු ලිනක්ස් නම් පරිගණක මෙහෙයුම් පද්ධතිය පදනම් කරගනිමින් නිර්මාණය කරගත් ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියකි. මෙය මූලික වශයෙන්ම භාවිත කෙරෙන්නේ ස්පර්ශක තිර (touchscreen) සහිත ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන, ටැබ්ලට් නමින් හඳුන්වනු ලබන කුඩා පරිගණක සඳහාය. මෙය මුළින්ම ඇන්ඩ්‍රොයිඩ් සමාගම විසින් නිර්මාණය කරනු ලැබූ අතර මූල්‍යම ශක්තිය ලබාදුන්නේ ගූගල් සමාගම මගිනි. 2005 වසරේදී ගූගල් සමාගම විසින් මෙය මිලට ගනු ලැබිණි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත මුල්ම ජංගම දුරකතනය 2008 වර්ෂයේදී අළෙවි කෙරිණි.

ඇන්ඩ්‍රොයිඩ් සංකේතය 

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය විවෘත කේතවලින් යුක්ත වන බැවින් මෙය ඕනෑම මෘදුකාංග ශිල්පියෙකුට තමාට අවශ්‍ය පරිදි වෙනස්කම්වලට බඳුන් කොට භාවිතයට ගැනීමේ නිදහස තිබේ. ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සඳහා ස්ථාපනය කළ හැකි විවිධ මෘදුකාංග වර්ධණය කරන්නන්ගේ සංඛ්‍යාව ද දිනෙන් දින වැඩිවෙමින් පවතී. 2012 ඔක්තෝබර් මාසය වනවිට මෙම සංඛ්‍යාව ලක්ෂ 7ක් පමණ විය. ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග සඳහා වූ නිල වෙබ් අඩවිට වන ගූගල් ප්ලේ’ (Google Play) වෙතින් මෙතෙක් මෘදුකාංග භාගත කළ පුද්ගලයන්ගේ සංඛ්‍යාව බිලියන 25 ද ඉක්මවයි. 2013 අවසන් කාර්තුව වන විට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතනවල අළෙවිය මිලියන 219 ඉක්මවද්දී ඇපල් මෙහෙයුම් පද්ධතිය සහිත ඒවා අළෙවි වී තිබුණේ මිලියන 50කට මදක් වැඩි ප්‍රමාණයකි. වින්ඩෝස් දුරකතන නම් මිලියන 8.5ක් පමණි. නොකියා දුරකතනවල පැවති සිම්බියන් මෙහෙයුම් පද්ධතියට ඇති ඉල්ලුම 2013 අවසාන කාර්තුව වන විට බිංදුවක් තරම් පහළ අයකට වැටී තිබිණි. ඔවුන් වින්ඩෝස් හා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හා එක් නොවූයේ නම් නොකියා සමාගම නිසැකවම ඇදවැටෙන්නට පවා ඉඩ තිබිණි. නොකියා සමාගම ඇන්ඩ්‍රොයිඩ් සමග එක් වූයේ 2014 පෙබරවාරි මාසයේදී නොකියා එක්ස්දුරකතනය සමගිනි.
නෙක්සස් සහිත ටැබ්ලට් වර්ගයේ පරිගණකයක් 


ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන සඳහා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනා දුරකතන වර්ග අතර ප්‍රමුඛස්ථානයේ පසුවන්නේ සැම්සුන්ග් ය. 2013 මාර්තුවන විට එය වෙළෙඳපළින් සියයට 64ක් අත්පත්කරගෙන තිබිණි. 2013 මැයි මාසය වන විට මිලියන 900ක් වූ ඇන්ඩ්‍රොයිඩ් උපකරණ වෙළෙඳ පලේ තිබුණු අතර ඇන්ඩ්‍රොයිඩ් වෙනුවෙන් වූ අතිරේක මෘදුකාංග බිලියන 48ක් තිබිණි.

ඉතිහාසය

ඇන්ඩ්‍රොයිඩ් සමාගම 2003 වසරේදී ඇන්ඩි රූබින්, රිච් මයිනර්, නික් සියර්ස් සහ ක්‍රිස් වයිට් විසින් කැලිෆෝර්නියාවේ පාලෝ ඇල්ටෝ හිදී ආරම්භ කරන ලදී. මෙම සමාගමේ බලාපොරොත්තුව වූයේ ඩිජිටල් කැමරා සඳහා මෙහෙයුම් පද්ධතියක් වර්ධණය කිරීමය. නමුත් කැමරා සඳහා ඇති වෙළෙඳ පළ එතරම් පුළුල් නොමැති බැව් තේරුම් ගැනීමෙන් පසු ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන සඳහා වූ සිම්බියන් සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති හා තරග කළ හැකි මෙහෙයුම් පද්ධතියක් වර්ධණය කරන්නට ඔවුහු තීරණය කළහ. ඒ වන විට ඇපල් සමාගමේ ජංගම දුරකතන වෙළෙඳ පළට ඉදිරිපත්කොට තිබුණේ නැත. නමුත් තමා වර්ධණය කරනා මෘදුකාංගය රහසක් වශයෙන් තබාගන්නට මොවුහු සෑම පියවරක්ම ගත්හ. ඔවුන් පවසා සිටියේ ජංගම දුරකතන සඳහා මෙහෙයුම් පද්ධතියක් වර්ධණය කරනා බව පමණකි. නමුත් සිය ව්‍යාපෘතිය සිදුකරගෙන යන අතරතුරදී ඔවුහු මූල්‍ය අර්බුදයකට මුහුණ පෑහ. මේ අවස්ථාවේදී පිහිට පැමිණියේ ගූගල් සමාගමය. 2005 අගෝස්තු 17 වැනිදා ගූගල් සමාගම මගින් ඇන්ඩ්‍රොයිඩ් මිලට ගනු ලැබිණි.

ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ ඉතිහාසය


ගූගල් සමාගමේදී රූබින්ගේ ප්‍රධානත්වයෙන් යුක්ත කණ්ඩායමක් විසින් ලිනක්ස් මත පදනම් වූ ජංගම දුරකතන සඳහා භාවිත කළ හැකි මෙහෙයුම් පද්ධතියක් වර්ධණය කළහ. මේ සමඟම මාධ්‍යවලින් ප්‍රචාරය වන්නට වූයේ ගූගල් සමාගම තමාගේම මෙහෙයුම් පද්ධතියක් සහිත ජංගම දුරතකතන මාදිලියක් හඳුන්වා දෙන්නට සැරසෙන බවය. 2007 නොවැම්බර් 5 වැනිදා එච්.ටී.සී, සෝනි, සැම්සුන්ග් යන දුරකතන නිෂ්පාදන සමාගම්, ස්ප්‍රින්ට් නෙක්ස්ටෙල් හා ටී-මොබයිල් යන සන්නිවේදන සමාගම් හා ක්වල්කොම් හා ටෙක්සාස් ඉන්ස්ටෘමන්ට් යන චිප් නිෂ්පාදන සමාගම්වල එකතුවෙන සැදි විවෘත ජංගම දුරකතන සන්ධානයඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සමඟ එක්වන්නට එකඟතාවය පළකළහ. මේ අනුව 2008 ඔක්තෝබර් 22 වැනිදා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ලොව ප්‍රථම ජංගම දුරකතනය එච්.ටී.සී. ඩ්‍රීම්නමින් වෙළෙඳ පළට නිකුත් කෙරිණි. ඉන් අනතුරුව මෙයට විවිධ යවත්කාලීනයන් සිදු කරනු ලැබූ අතර ඒ සියල්ල විවිධ ආහාර වර්ගවල නම්වලින් ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර පිළිවෙලට අනුව නම් කෙරිණි. උදාහරණයක් ලෙස ඇන්ඩ්‍රොයිඩ් 1.5  යවත්කාලීනය කප්කේක්, 1.6 ඩෝනට්, 2.0 සහ 2.1 එක්ලෙයාර් ද, 2.2 ෆ්‍රොයෝ (මෙය frozen yogurt යන්න කෙටිකොට දැක්වීමකි) ද, 2.3 ජින්ජර්බ්‍රෙඩ් ද, 3.0, 3.1 හා 3.2 හනිකොම්බ් ද, 4.0 අයිස්ක්‍රීම් සැන්ඩ්විච් ද, 4.1, 4.2 හා 4.3 ජෙලි බීන් ද, 4.4 කිට්කැට් ලෙසින් ද නම් කෙරිණි.මෙහි 5 වැනි සංස්කරණය ‘ලොලිපොප්’ යනුවෙන් 2014 ජුනි 25 වැනිදා ගූගල් සමාගම මගින් හඳුන්වා දෙනු ලැබිණි. 2015 මැයි මාසයේදී ‘මාර්ෂ්මැලෝ නම් වූ මෙහි 6 වැනි සංස්කරණය පිළිබද අසන්නට ලැබුණු අතර එම වසරේම ඔක්තෝබර් මාසයේදී එය නිළ වශයෙන් නිකුත් කෙරිණි. මෙහි 7 වැනි සංස්කරණය ‘නුගා’ නමින් 2016 වසරේ අගෝස්තු - සැප්තැම්බර් මාසවලදී නිකුත් කරන්නට නියමිතය.

ඇන්ඩ්‍රොයිඩ් අළෙවිය 


ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇතුළත් කරමින් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන හා ටැබ්ලට් වර්ගයේ පරිගණක හඳුන්වා දුන් අතර ඒවා නෙක්සස්යනුවෙන් හඳුන්වනු ලබයි.

ජංගම දුරකතන සඳහා ස්ථාපනය කළ හැකි අමතර මෘදුකාංග අතුරින් වැඩිම ප්‍රමාණයක් වර්ධණය කොට ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහාය. 

(අවසන්වරට යාවත්කාලීන කළා - 2016-07-19)

5 comments:

  1. කදිමයි. ඇත්තෙන්ම ලිපියෙන් ලබාගත්ත දේවල බොහෝමයි. ස්තූතියි ඔබට..

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ඔබට ස්තූතියි.

      Delete
  2. හොඳ ලිපියක්.ස්තුතියි

    ReplyDelete
  3. හොඳ ලිපියක්.ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අදහස් දැක්වීම ගැන ඔබට ස්තුතියි.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න