පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Thursday, July 31, 2014

ගුවන් අනතුරින් මිය ගිය නිළිය ශ්‍රී ලාංකිකමද? - Is Shuba Jay Really a Sri Lankan?



පසුගිය ජූලි මාසයේ 17 වැනිදා යුක්රේනයට ඉහළ අහසේදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව විනාශයට පත් මැලේසියානු මගී ගුවන් යානය පිළිබඳ මතකය තවමත් අපේ මතකයෙන් බැහැරට ගොස් නැහැ. දිගින් දිගටම සිදු වූ ගුවන් අනතුරු නිසා ලෝකයේ බොහෝ දෙනෙක් තවමත් මේ පිළිබඳව කතා කරනවා. ශ්‍රී ලංකාවට අයත් කිසිදු මගියෙක් එහි ගමන් නොකළ බැව් මේ අනතුර සිදුවූ වහාම ප්‍රවෘත්තිවලින් කියැවුණා. නමුත් අනතුරු සිදුවී දින කිහිපයකින් අප රටේ සිංහල හා ඉංග්‍රීසි ප්‍රවෘත්ති වෙබ් අඩවිවල පළවූයේ මැලේසියාවේ ජීවත්වන ශ්‍රී ලාංකික නිළියක් ද මෙම අනතුරින් මිය ගොස් ඇති බවයි. මේ ප්‍රවෘත්තිය අප රටට වැදගත් වන බැවින් අප ද ඒ පිළිබඳ මදක් විපරම් කර බැලීමට තීරණය කළා.

ප්‍රවෘත්ති වෙබ් අඩවිවලට අනුව ඇගේ නම් සුභාෂිණී ජෙයරත්නම්වූ අතර ඇය මැලේසියාවේ හා සිය රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටියේ ෂුබා ජේසහ ෂුබා ජයානමින්. 1976 ජූලි 15 වැනිදා උපත ලබා ඇති ඇය මැලේසියාවේ රූපවාහිනි, ටෙලි නාට්‍ය හා විවිධ වැඩසටහන් තුළින් ප්‍රේක්ෂක ජනාදරයට පත් කාන්තාවක්.

සුප්‍රකට මැලේසියානු පුවත්පතක් වන New Straits Times හි පිටපත් රචිකාවක් ලෙස සේවය කළ ඇය පසුව පුවත්පත් දැන්වීම් ක්ෂේත්‍රයට පිවිසුණා. ඇය මෙහිදී මැලේසියාව පිළිබඳ විවිධ තේමාවන් යටතේ කෙටි චිත්‍රපට නිෂ්පාදනය කළා. පසුව ඇය සහ ඇගේ පියා එහි එක් රූපවාහිනි නාලිකාවක වූ රියැලිටි වැඩසටහන්වලට සහභාගී වන්නට පටන් ගත්තා. මෙ විදිහට තමයි ඇය රංගනයට සම්බන්ධ වුණේ. Spanar Jaya, Gadis 3 සහ Sugumana Sumaigal වැනි රූපවාහිනි වැඩසටහන්වලින් ඇය මැලේසියාවේ සැළකිය යුතු මට්ටමේ ජනප්‍රසාදයක් හිමිකරගන්නට සමත් වුණා. එමෙන්ම Relationship Status (2012) and Tokak (2013) වැනි චිත්‍රපටවලින් ද, Fourplay, Charley's Auntie සහ Hungry for Hope වැනි වේදිකා නාට්‍යවලින් ද ඇය සිය රංගන දක්ෂතාවයන් පෙන්නුම් කළා.  බොහෝ නිළියන් සිය දරුවාට මව්කිරි ලබාදීම පිළිබඳ වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් ඇය සිය දරුවා උපන් අවස්ථාවේ මව්කිරි දීමට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ෂුබා කියන්නේ මැලේසියාවේ ප්‍රකට කාන්තාවන් 40 දෙනා අතර ඉන්න තැනැත්තියක් බවත් සඳහන් කළ යුතුයි.

ඇය නිවාඩුවක් ගත කිරීම සඳහා වියට්නාමයට ගොස් සිටි අතරතුරේ පෝල් ගොයස් නම් නෙදර්ලන්ත ජාතිකයා හමු වෙනවා. මේ හමුවීම මිතුදමක් වී අවසානයේ විවාහයකින් කෙළවර වෙනවා. වෛද්‍ය උපදෙස්වලින් තොරව දරුවන් ඉපදීම කියන ක්‍රමයට’ කැමැත්තක් දැක් වූ ඇය, සිය දරුවා බිහිකරන්නේද ඒ විදිහයටයි. ඒ දරුවා තමයි කයෙලා’.


කයෙලා සිය දෙමාපියන්ට පෙන්වන්නට ඕනෑ බව ගොයෙස් පවසන නිසා ඔවුන් තිදෙනාම නෙදර්ලන්තය බලා පියාසර කරනවා. ඔවුන් එහි ගොස් යළි සිය රට බලා පැමිණෙන්නට ගොඩවන්නේ මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 17 යානයටයි. 2014 ජූලි 17 වැනිදා යුක්රේනයට ඉහළ අහසේ දී මෙය ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වෙනවා. සුභාෂිණී, ඇගේ සැමියා ගොයෙස්, කයෙලා ඇතුළුව මේ යානයේ ගමන් කළ සියලු දෙනාම මෙම අනතුරින් මිය යනවා.

මෙය සිදුවී දින කිහිපයකින් ශ්‍රී ලාංකික නිළියක් ද මේ අනතුරින් මිය ගිය බවට ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති වෙබ් අඩවිවල පළවුණා. එබැවින් ඇය පිළිබඳ වැඩිදුර සොයා බලන්නට අන්තර්ජාලයට පිවිසුණු විට මුළින්ම හමුවන විශ්වසනීය අඩවිය වුණේ ඇගේ නමින් පවතින http://www.shubajay.com/ වෙබ් අඩවියයි. එහි ඇයගේ උපන් ස්ථානය පිළිබද කිසිවක් සදහන් වන්නේ නැහැ. ඊළගට අවධානය යොමුකළ අනෙක් විශ්වසනීයතම වෙබ් අඩවිය වූයේ විකිපීඩියාවයි. එහි http://en.wikipedia.org/wiki/Shuba_Jay යන යොමුව ඔස්සේ ඇය පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. ඔබ මෙහි දුටුවේ එයින් ලබාගත් තොරතුරුයි. අවාසනාවට විකිපීඩියා පිටුවේ  ඇය උපන් රට සඳහන් කොට නැහැ. මේ නිසා වෙනත් යොමු ඔස්සේ සෙවීම් කළත් ඇය උපන්නේ ශ්‍රී ලංකාවේ බවක් සොයා ගන්නට ලැබුණේ නැහැ. ශ්‍රී ලාංකික ප්‍රවෘත්ති වෙබ් අඩවිවල මෙන්ම පුවත්පත්වලට අයත් වෙබ් අඩවිවලද ඇය ශ්‍රී ලංකාවේ සිට මැලේසියාවට සංක්‍රමණය වූ කාන්තාවක් බව සඳහන් වුණා. නමුත් කිසිදු නිල හෝ නිල නොවන විදේශී ප්‍රවෘත්ති වෙබ් අඩවිවල ඇය ශ්‍රී ලාංකික බැව් සඳහන් වන්නේ නැහැ. එම ප්‍රවෘත්ති එකක හෝ ශ්‍රී ලංකායන වදන හෝ සඳහන් වන්නේ  නැහැ.



මැලේසියාවේ ජ්‍යෝතිෂ්‍ය සම්බන්ධ http://www.astro.com නම් වෙබ් අඩවියේ දත්ත බැංකුවේ ෂුබා පිළිබඳ තොරතුරු සඳහන් වෙනවා. http://www.astro.com/astro-databank/Jay,_Shuba නම් යොමුවෙන් එය වෙත පිවිසෙන්නට පුලුවන්. එයට පිවිසුණු විට පෙනෙන්නට තිබෙන්නේ ඇය මැලේසියාවේ ක්වාලාලම්පූර්වල ඉපදී ඇති බවයි. මෙම වෙබ් අඩවිය හැරුණු විට ඇය උපන් ස්ථානයක් දක්වන එක් වෙබ් අඩවියක් හෝ මෙම සෙවීම්වලට හසු වූයේ නැහැ. ඇය ශ්‍රී ලාංකික ජන්මයක් සහිත තැනැත්තියක් නම් එවැනි වෙබ් අඩවියක් මෙම සෙවීම්වලදී හමු නොවී තිබිය නොහැකියි. මෙම ප්‍රවෘත්තිය සෙවූ ආකාරයේ වරදක් නිසා ඇය ශ්‍රී ලාංකික යන තොරතුර අපට නොලැබී ගියා ද, එසේත් නැත්නම් සැබවින්ම ඇය ශ්‍රී ලාංකික තැනැත්තියක් යැයි කිසිදු වෙබ් අඩවියට සඳහන් වී නැති ද යන කාරණය සළකා බලන්නට සිදුවෙනවා. අපගේ සෙවීම්වල අඩුපාඩුවක් නොමැති නම්, ඇය ශ්‍රී ලාංකික නිළියක් හෝ ශ්‍රී ලංකාවට කුමනාකාරයක හෝ සම්බන්ධයක් ඇති තැනැත්තියක බව ප්‍රවෘත්ති අඩවිවල සඳහන් වූයේ කෙසේදැයි යන ගැටලුව අප ඉදිරියේ ඉතිරිවෙනවා. 

4 comments:

  1. අපේ බ්ලොග් දර්ශකයට මේකත් ඇතුල් කරන්න ලින්ක් එක අපට එවන්න. මෙන්න අපේ බ්ලොග් දර්ශකයේ පිවිසුම.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මම මේ සදහා ඊමෙල් එකක් එව්වා

      Delete
  2. මම මුලින්ම දුටුව සමහර පුවත්පත් "ශ්‍රීලාංකික සම්භවයක් සහිත" යන්න භාවිත කර තිබුන.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සිංහල සහ ඉංග්‍රීසි බසින් පළවූ පුවත්වල මෙසේ සදහන් වුණා. නමුත් තවමත් කිසිම ජාත්‍යන්තර ප්‍රවෘත්තියක එවැන්නක් සොයා ගන්නට නැහැ. එතනයි ගැටලුව තියෙන්නේ.

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න