පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, July 15, 2014

තාක්ෂණයට බය නැති පුංචි වීරයෝ - Children and Technology



යම් යම් දේ ඉගෙන ගැනීම සම්බන්ධව වැඩිහිටියන්ට වඩා දරුවන් ඉතා ඉදිරියෙන් සිටින බව කිසිඳු විද්‍යාත්මක පර්යේෂණයකින් තොරව වුවද අපට කිව හැකිය. නිවසට රූපවාහිනි යන්ත්‍රයක් ගෙනා විට වැඩිහිටියන් දන්නේ එය දැමීම, වැසීම සහ නාලිකා මාරුකිරීම වැනි සරල ක්‍රියාවන් කිහිපයක් පමණක් වුව ද, එහි වඩාත් සංකීර්ණ ක්‍රියාවන් සොයාගන්නේ නිවසේ සිටින කුඩා දරුවන්ය. ඇතැම් අවස්ථාවලදී වැඩිහිටියන් යම් යම් තාක්ෂණික ගැටලුවල සිරවී සිටියදී කුඩා දරුවන් ඒවාට වඩාත් ඉක්මණින් සරල විසඳුම් ඉදිරිපත් කරන අවස්ථා ඕනෑ තරම්ය. අනූව දශකයේදී පමණ ජනප්‍රියවන්නට පටන් ගැනුණු ජංගම දුරකතන බොහොමයක මූලික ක්‍රියාකාරීත්වයන් හැරුණු විට අනෙක් බොහෝ දේවල් පිළිබඳ වැටහීමක් වැඩිහිටියන්ට නැත. නමුත් ඇතැම් විට තවමත් පාසල් පවා ගොස් නැති ඔබේ දරුවා ඔබ නොදන්නා බොහෝ වැඩ කෑලිජංගම දුරකතනයෙන් සොයා ගනී. මේ සියල්ලෙන්ම පැවසෙන්නේ වැඩිහිටියන්ට වඩා පහසුවෙන් සහ ඉක්මණින් කුඩා දරුවන්ට තාක්ෂණය සමඟ මිතුරුකම් ඇතිකරගැනීමට හැකියාව තිබෙනව බවය.

විද්‍යාඥයෝ දරුවන් සතු මෙම අපූරු හැකියාව පිළිබඳ පුදුමයට පත්වීමෙන් පමණක් නොනැවතී ඒ සම්බන්ධව විවිධ පර්යේෂණයන් ද සිදු කළහ. මේ නිසා වැඩිහිටියන්ට වඩා දරුවන් ඇතැම් කාර්යයන්වලදී දක්ෂ යැයි සරලව පවසනවා වෙනුවට අපට ඒ සඳහා සංකීර්ණ විස්තරයක් ඉදිරිපත් කරන්නට ද පුලුවන. අප සියල්ලටම මොලයක් තිබේ. කුඩා දරුවන් වරදක් කළ විට, “මේකගේ මොලේ මැටියැයි පවසන්නට පුරුදුව සිටිය ද සැබවින්ම දරුවන්ගේ මොලය වැඩහිටියන්ට වඩා ක්‍රියාකාරීය. වැඩිහිටියන්ගේත් දරුවන්ගේත් මොලයෙහි පුරෝලලාට බාහිකය’ (prefrontal cortex) යනුවෙන් කොටසක් තිබේ. අපගේ ක්‍රියාකාරී මතකය ගබඩා වී ඇත්තේ එහිය. වැඩිහිටියන්ගේ පුරෝලලාට බාහිකය දරුවන්ට වඩා වර්ධණය වී තිබේ. එවිට වැඩිහිටියන්ට යම්කිසි වස්තුවක් පෙනෙන්නේ එය අප සම්මත කරගත් ආකාරයට පමණි. එය තේරුම්ගැනීමට අපහසු යැයි සිතෙන බැවින් අපි එය තවත් සරල ආකාරයකින් කතා කරමු. අපි උදාහරණයට ඉස්කෝප්පයක් ගනිමු. වැඩිහිටියන් මෙය යොදාගන්නේ පස් සෑරීමට, සිමෙන්ති ඇනීමට වැනි කටයුතුවලටය. එයට හේතුව එම උපකරණය නිර්මාණය කොට ඇත්තේ එම කාර්යය සඳහා යැයි වැඩිහිටියන්ගේ මොලයෙහි තැන්පත් වී ඇති බැවිනි. නමුත් දරුවන්ගේ පුරෝලලාට බාහිකය වර්ධණයවී නැති බැවින් ඔවුන්ගේ මොලයෙහි එම උපකරණය පිළිබඳ එවැනි අදහසක් ගබඩාවී නැත. එබැවින් ඉස්කෝප්පයක් අතට ගත් දරුවෝ පස් හෑරීම සහ සිමෙන්ති ඇනීම යන ක්‍රියාවන්ට වඩා තවත් බොහෝ නිර්මාණාත්මක කටයුතු එයින් සිදුකරති. රාමුවකට කොටු නොවී ඉන් ඔබ්බට ඇති නිර්මාණාත්මක දේ පිළිබඳව සිතන්නට වැඩිහිටියන්ට වඩා දරුවන්ට විශේෂ හැකියාවක් ලැබෙන්නේ මෙම පුරෝලලාට බාහිකාව වර්ධණය නොවීම නිසාය.

තාක්ෂණික උපාංග ක්‍රියාකාරීත්වය ඉගෙන ගැනීමේදී ද වැඩිහිටියින්ට වඩා දරුවන් වේගවත් වන්නට බලපාන්නේ ද අප ඉහත සඳහන් කළ පුරෝලලාට බාහිකය වර්ධණය නොවීමේ වාසියයි. මීට අමතරව දරුවන් තාක්ෂණයත් සමඟ මෙතරම් මිත්‍රශීලිව කටයුතු කිරීම පිළිබඳ විවිධ පර්යේෂණයන් ද සිදු කොට තිබේ. පාසල් සිසුන් පිරිසක් සහ සිව් සහ පස් හැවිරිදි වියෙහි පසුවන දරුවන් පිරිසක් අළලා මෙවැනි එක් පර්යේෂණයක් සිදු විය. මෙයින් බලපොරොත්තු වූයේ මෙම කණ්ඩායම් දෙක අතුරින් තාක්ෂණයත් සමග වඩා මිත්‍රශීලීව කටයුතු කරන්නේ කුමන කණ්ඩායමදැයි සොයා බැලීමය. මෙහිදී දැක ගන්නට හැකි වූ දෙයක් වූයේ මීට පෙර දැක නැති යම්කිසි තාක්ෂණික උපාංගයක් සමඟ මිතුරුවීමට ඉහත කී කණ්ඩායම් දෙක අතුරින් වඩාත් දක්ෂ වූයේ සිව් හා පස් හැවිරිදි වියෙහි දරුවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම බවය.

අපි ඒ පර්යේෂණය දෙසට මඳක් හැරෙමු. මෙම පර්යේෂණය සිදුකරන ලද්දේ කැලිෆෝර්නියා සරසවියේදීය. මෙහිදී සිව් හා පස් හැවිරිද් වියෙහි පසු වූ දරුවන් 106 දෙනෙක් ද, පාසල් සිසුන් 170 දෙනෙක් ද සහභාගී කර ගැනුණි. මෙහිදී පරීක්ෂා කොට බලන ලද්දේ මෙයට පෙර දැක නැති යම්කිසි තාක්ෂණික උපාංගයක් සමඟ වඩාත් පහසුවෙන් හා ඉක්මණින් මිත්‍රවන්නේ කුමන කණ්ඩායම ද යන්න සොයා බැලීමය. මෙම තාක්ෂණික උපාංගය සංගීතය වාදනය වන්නක් විය. නමුත් එයින් පහසුවෙන් සංගීතය වාදනය වන්නේ නැත. ඒ සඳහා මෙම පිරිසට එකිනෙකට වෙනස් හැඩයෙන් යුක්ත  මැටි කැබලි සපයන ලදී. මෙම මැටි කැබලි යම්කිසි නිශ්චිත පිළිවෙළකට තැබූ විට පමණක් මෙම උපකරණයෙන් සංගීතය වාදනය වන ආකාරයට සකස්කොට තිබිණි. මෙහිදී පර්යේෂකයන් මහත් විශ්මයට පත්කරමින් මෙම උපකරණයෙන් සංගීතය වාදනය කරගැනීමට හැකියාව ලබාගත්තේ සිව් හා පස් හැවිරිදි කණ්ඩාමේ දරුවන්ය. ඔවුහු පාසල් සිසුන්ට වඩා ඉතා ඉක්මණින් මෙම මැටි කැබලිවල රටාව සොයාගෙන තිබිණි.

පාසල් සිසුන් යම් යම් දේ සම්බන්ධය පූර්ව අනුමානවල සිටිමින් මෙම තාක්ෂණික උපකරණය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගෙන තිබුණු බව පර්යේෂණ කණ්ඩායමට සොයාගත හැකි විය. නමුත් කුඩා දරුවන්ට එවැනි පූර්ව අනුමාන පිළිබඳ වැටහීමක් තිබුණේ නැත. ඔවුන් අලුත් ආකාරයකින් සිතා මම රටාව හඳුනාගත් බව පර්යේෂක කණ්ඩායම සඳහන් කළේය. අනෙක ඔවුන්ට මෙවැනි රටා හඳුනාගන්නට උත්සාහ දරන වාර ගණන ද සුළු බව මෙහිදී අනාවරණය විය. වැඩිහිටි සිසුන් තමා ඉගෙන ගත් කරුණු පවා මෙහිදී මතකයට නංවාගත් මුත් කුඩා දරුවන් කළේ ඒ මොහොතට අවශ්‍ය ආකාරයට එම තාක්ෂණික උපකරණයත් සමඟ ගනුදෙනු කිරීමය.


මෙම පර්යේණයෙන් ද තහවුරු වූ දෙය වූයේ පූර්වලලාට බාහිකය වර්ධණය නොවීමේ වාසිය කුඩා දරුවන් අත් කරගත් බවය. කුඩා දරුවන් වැඩිහිටියනට වඩා ශීඝ්‍ර ලෙස විවිධ භාෂාවන් ඉගෙනගැනීමට දක්ෂතා පෙන්වන්නේ ද මෙම හේතුව නිසාය. මේ නිසා කුඩා දරුවන් වැඩිහිටි අපට වඩා තාක්ෂණය සමඟ මිත්‍රවීමේ විශේෂ හැකියාවකින් යුකත් බව දැන් පිළිගන්නට සිදුවී තිබේ. එබැවින් මේකට මොලේ නෑයනුවෙන් බැන වදින්නට පෙර මින් පසු කිහිපවරක් සිතන්නට හැකිනම් එය සෑම අතින්ම යහපත් දෙයක් යැයි සිතේ. 

1 comment:

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න