පුවත්පත්වලට ලිපි ලිවීම මාගේ විනෝදාංශයකි. මා ලියන ලිපි මගින් පාඨකයින් දැනුමක් ලබමින් ජීවිතයට යමක් එකතු කරගන්නේ නම් එය මාගේ සතුටකි. වේගයෙන් ඉදිරියට ඇදෙන තාක්ෂණික ලෝකයේ පුවත්පත් කියවන්නට තරම් විවේකයක් නොමැති අයවලුන් බොහෝය. තවකෙකු පුවත්පත් කියවන්නට කැමති නැත. අන්තර්ජාලයේ ද සිංහල බසින් සියලුම පුවත්පත් ඇති බැවින් තාක්ෂණයට ප්‍රිය කරන්නෝ පරිගණකයෙක් හෝ සිය ජංගම දුරකථනයෙන් ඒවා කියවති. එබැවින් මා ලියන ලිපි එවැනි පාඨක පිරිස් වෙත යොමු කරන්නට අදහස් කළ නිසා මෙවැනි බ්ලොග් අඩවියක් ගොඩනගන්නට සිතුවෙමි. මාගේ උත්සාහය කෙතරම් නම් සාර්ථකදැයි තීරණය වන්නේ ඔබගෙන් ලැබෙන ප්‍රතිචාර මතය. එබැවින් ඔබ මේ පිළිබඳ සිතන පතන දෑ මවෙත දන්වන්නට උනන්දුවන්නේ නම් එය මාගේ සතුටයි. ඔබ සැමට තෙරුවන් සරණයි!

Tuesday, July 8, 2014

ඔසප්වීම සම්බන්ධ ගැටලු - Menstrual Problems



ස්වභාවික සංසිද්ධියක් වුව ද මාසික ඔසප්වීම යනු කාන්තාවන් බහුතරයකට මිහිරි අත්දැකීමක් නම් නොවේ. මාසික ඔසප්වීමේදී දැනෙන වේදනාව, එමෙන්ම වෙනත් අසාමාන්‍යතා මගින් අපට නොපෙනන රෝග පිළිබඳ තොරතුරු ලබාදෙන බව වෛද්‍ය විද්‍යාව ඔස්සේ සොයාගෙන තිබේ. එබැවින් මාසික ඔසප්වීමේදී දැනෙන වේදනාව හෝ වෙනයම් අසාමාන්‍යතා යනු වේදනාව දරා සිටීමෙන් පමණක් අමතක කරදැමිය හැකි ඒවා නොවේ. මෙම ලිපියේ අරමුණ ඔබගේ අරමුණ එවැනි පොදු කරුණු කිහිපයක් කෙරෙහි යොමුකිරීමය.

මාසික ඔසප්වීමේ ගැටලු

ඔසප්වීමේ ගැටලු වර්ග කිහිපයක්ම වේ. මාසික ඔසප්වීමේදී යම් යම් ගැටලුවලට මුහුණ දෙන කාන්තාවන් ඇත්නම් සිය මාසික ඔසප්වීමේ චක්‍රය දිනදර්ශනයක් හෝ යම්කිසි සටහනක් තැබීම මගින් හෝ වාර්තාගත කිරීම ඉතා ප්‍රයෝජනවත්ය. නවීන ජංගම දුරකතන භාවිත කරන කාන්තාවන්ට මේ කාර්යයන් සඳහාම සකස් කළ වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේ බාගතකරගැනීමේ පහසුකම ද පවතී. මෙම වාර්තාවේ තම දෛනික කාර්යයන් ද සටහන් කළ යුතුවේ. තම ඔසප් චක්‍රය අතරේ ගැටලු මතුවන්නේ කුමන අවස්ථාවේදී ද යන්න එම වාර්තාවේ මාසිකව සටහන්කිරීම තුළින් අදාළ කාන්තාවගේ අනෙකුත් දෛනික කාර්යයන් හා මෙම ගැටලුව අතර යම් සම්බන්ධයක් තිබේදැයි සොයා බැලිය හැකිය. එවිට යම්කිසි ගැටලුවක් හඳුනාගත්විට ඒ සඳහා වඩාත් ඵලදායී ලෙස ප්‍රතිකාර ලබාදීමට ඔබගේ වෛද්‍යවරයාට ද හැකියාව තිබේ. මෙම වාර්තාවේ පහත සදහන් කරුණු ද සටහන් කර තැබීම වැදගත් වේ.

  • ඔබගේ ඔසප්වීම ආරම්භ වූයේ කුමන වයසේදීද?
  • ඔබගේ ඔසප්වීම වේදනාකාරී වන්නට පටන් ගත්තේ කෙදිනක සිටද? මාසික ඔසප්වීම අතරතුරේ වේදනාව අධිකව දැනෙන්නේ කුමන දිනවලද? මෙම වේදනාව විස්තර කළ හැකිද? (එනම් මෙය තියුණු වේදනාවක්ද නැතහොත් සුළු වේදනාවක්ද? හෝ මෙය මෙය ඉඳහිට දැනෙන්නක්ද? නැතහොත් නිතර පවතින්නක්ද වැනි තොරතුරු.)
  • ඔබ ලිංගික වශයෙන් ක්‍රියාකාරීද? ඔබ උපත්පාලන පෙති භාවිත කරන්නේද? එසේනම් ඒවා කුමන වර්ගයේ ඒවාද?
  • ඔබට අවසාන වශයෙන් ඔසප් වූ දිනය කුමක්ද? ඔබගේ මාසික ඔසප්වීම සාමාන්‍යයෙන් කොපමණ දින ගණනක් පවතින්නේද?
  • ඔසප්වීමේදී ඔබගේ සාමාන්‍ය රුධිර වහනය කෙසේද? මෙම රුධිර වහනයේදී රුධිරය කැටි වශයෙන් පිටවනු දැක තිබේද?
  • මාසික ඔසප්වීම කෙතරම් කාලයක් පවතීද? එය සෑම මසකම පවතින්නේ නිශ්චිත දින ගණනක්ද?
  • මාසික ඔසප්වීමේදී ඇතිවන වේදනාව සමනය කරගැනීම සඳහා ඔබ යොදාගන්නා ක්‍රම මොනවාද?

අප දැන් පොදුවේ පවතින ඔසප් ගැටලු පිළිබඳ සොයා බලමු.

1. අනාර්ථවය (amenorrhea)

අනාර්ථවය හෙවත් කාන්තාවකගේ ප්‍රජනන වයස් සීමාව ඇතුළත ඔසප් සිදුනොවීම පොදු ගැටලුවකි. ලිංගික වශයෙන් පරිණත කාන්තාවක් ගර්භනී වී නැත්නම් හෝ කිරි නොදෙන්නේ නම්, ඔසප් සිදුවීම මාස තුනක් හෝ ඊට වැඩි හෝ ඊට වැඩි කාලයක් පුරා නතරවී තිබීම මෙම ගැටලුවයි.

අනාර්ථවය යනු වෙනත් රෝගාබාධ පෙන්නුම් කරනා ලක්ෂණයකි. මේවා සුළු ගැටලුවල සිට බරලතළ ඒවා දක්වා තිබිය හැකිය. නොකඩවා මාස තුනක් යම්කිසි කාන්තාවකගේ ඔසප් සිදුනොවූයේ නම් ඇය අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකු හමුවට යායුතුය. පහත හේතු නිසා අනාර්ථවය ඇතිවිය හැකිය.

  • ආහාර රටාවේ ගැටලු (උදා. ආහාර අරුචිය - anorexia , අතික්ෂුධාව - bulimia)
  • අධික ලෙස ව්‍යයාම කිරීම සහ පෝෂණ ගුණයෙන් අඩු ආහාර ගැනීම
  • අධික ලෙස පවතින කායික හෝ මානසික ආතතිය
  • හයිපොතැලමස, පිටියුටරි, තයිරොයිඩ් හෝ ඇඩ්‍රිනලින් යන   ග්‍රන්ථිවල ඇතිවන හෝමෝන ගැටලු.
  • විවිධ ඖෂධ වර්ග (උපත් පාලන පෙති වැනි)
  • සිරුරේ පවතින ඉතා අඩු බර

2. ආර්තවරීතය/අති ආර්තවරීතය (menorrhagia/hypermenorrhea)

දිගුකාලයක් පවතින හෝ අධික රුධිර වහනයක් සහිත ඔසප් චක්‍රය මෙසේ හඳුන්වනු ලබයි. මෙය දින හතකට අධික කාලයක් පවතින්නට පුළුවන. එසේත් නැත්නම් සෑම පැයකට හෝ පැය කිහිපයකට වරක් සනීපාරක්ෂක තුවායක් මාරු කිරීමට සිදුවන තරම් අධික රුධිර වහනයක් තිබිය හැකිය. මේ ලක්ෂණ මගින්ද යම් යම් වෙනත් රෝගාබාධයන් පිළිබඳ තොරතුරු අපට ලබාදේ. මේවා සුළු ඒවා මෙන්ම බරපතළ ඒවා වන්නට පුළුවන. ඒවා මෙසේය.
  • ගර්භාෂ ආස්තරයේ ඇතිවිය හැකි දෝෂ ( Adenomyosis and endometriosis)
  • ප්‍රති - ප්‍රදාහ හෝ ප්‍රති ආතංචකය (රුධිරය කැටිගැසීම වළක්වන) ඖෂධ වර්ග ගැනීම
  • බහිෂිකේතනක ගර්භනීභාවය. එනම් දරු පිළිසිඳගැනීම ගර්භාෂයේ සිදුනොවී පැලෝපීය නාලවල සිදුවීම)
  • හෝමෝන අසමබරතාවය
  • ශ්‍රෝණි ප්‍රදාහ රෝග. එනම් ප්‍රජනන පද්ධතියේ ඇති ආසාදන
  • ගර්භනීභාවයේ ඇති ගැටලු
  • ගර්භාෂ පිළිකා
  • ගර්භාෂයේ ඇති පිළිකා නොවන ගෙඩි. ( Uterine polyps or uterine fibroids)
අක්මා රෝග, වකුගඩු රෝග සහ තයිරොයිඩ ග්‍රන්ථියේ අර්බුද නිසා ද ඔසප් වීමේදී මෙසේ අධික රුධිර වහනයවීමක් සිදුවන්නට පුළුවන. මෙවැනි තත්වයකට ඔබ මුහුණ දී ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුය.

3. පූර්ව ඔසප් සහලක්ෂණය (dysmenorrhea හෙවත් premenstrual syndrome)

ඔසප්වීමට ආසන්න සමයේ හෝ ඔසප්වීමේදී ඇතිවන වේදනාව සහ අපහසුතාවය මෙසේ හැඳින්වේ. මෙවැනි තත්වයක් නිසා ඔබගේ දෛනික වැඩකටයුතුවලට බාධා ඇතිවන්නට පුළුවන. යටිබඩෙහි ඇතිවන කොරය, යටිබඩ ප්‍රදේශයේ වරින්වර ඇතිවන තියුණු වේදනාව, කොන්දේ පහළ ප්‍රදේශයේ කැක්කුම, යටිබඩ ඉදිමීම, පියයුරුවල මොළොක්බවක් ඇතිවීම, හිස කැක්කුම සහ මානසික තත්වයේ වරින්වර සිදුවන වෙනස්කම් මෙහිදී දැකගත හැකිය.

පූර්ව ඔසප් සහලක්ෂණය බොහෝවිට නිරෝගී කාන්තාවන්ගෙන් පවා දැකිය හැකි අතර මෙය ගර්භාෂයේ හෝ ශ්‍රෝණිය ආශ්‍රීත වෙනත් ග්‍රන්ථිවල දෝෂ නිසා හටගන්නක් නොවේ. නමුත් මෙය යම්කිසි ඖෂධ හෝ පහත දැක්වෙන ආකාරයේ වෙනයම් රෝගාබාධ තත්වයන් නිසා ඇතිවන්නට පුළුවන.
  • යම්කිසි ලිංගිකමය වශයෙන් බෝවන රෝගයක්
  • ගර්භාෂ ආස්තරයේ දෝෂ නිසා ඇතිවන රෝග තත්වයක් (Endometriosis )
  • අධික ආතතිය සහ කාංසා තත්වය
  • ඩිම්බාධාර කෝෂ්ඨ (Ovarian cysts)
  • ප්‍රජනන පද්ධතියේ ආසාදනයක් නිසා ඇතිවන ශ්‍රෝණි ප්‍රදාහ රෝගය
  • ගර්භාෂයේ ඇති පිළිකා නොවන ගෙඩි. (Uterine polyps or uterine fibroids)


පුර්ව ඔසප් වේදනාව සහ අපසුතාවය බරපතල තත්වයක නොපවතී නම් වේදනා නාශක, ව්‍යයාම, තැවීම වැනි ඔබටම කරගත හැකි සරල ප්‍රතිකාර ක්‍රමවලින් සෑහීමකට පත්වන්නට පුළුවන. නමුත් එය බරපතළ තත්වයක පවතී නම් වෛද්‍ය උපදෙස් පැතීම වඩා සුදුසුය. රෝග ලක්ෂණවලට අනුව වෛද්‍යවරයා විසින් විශේෂ වේදනා නාශක, ප්‍රති-ප්‍රදාහ ඖෂධ, විෂබීජනාශක හෝ විෂාදනාශක වැනි ප්‍රතිකාර ක්‍රම නියම කරනු ඇත.

4. පූර්ව ඔසප් මානසික අසහන දෝෂය ( Premenstrual dysphoric disorder )

ඔසප්වන්නට ආසන්න සමයේ හෝ ඔසප්වීමේදී පවතින මානසික අසහනකාරී තත්වය නිසා ඇතිවන්නකි. මෙහිදී ඔසප්වීමත් සමඟ කාංසාව, දොම්නස, නොඉවසිලිවන්ත බව වැනි මානසික තත්වයන් ඇතිවේ. මෙය ඇතිවන්නේ ලිංගික වශයෙන් පරිණත කාන්තාවන්ගේ 10%කටත් අඩු ප්‍රමාණයකට පමණි.

නිතර කාංසා තත්වයන් ඇතිවන කාන්තාවන් මෙම තත්වයට බහුලව මුහුණදෙන මුත්, එසේ නොවන කාන්තාවන් ද මෙයට ලක්වන බව පෙනෙන්නට තිබේ. පාරිසරික හා කාළගුණික වෙනස්කම් නිසා සදුවන මානසික අසහනකාරී තත්වයන් ද මෙම තත්වය තියුණු කරන්නට හේතු විය හැකිය.

මෙය නොසැළකිය යුතු තරම් තත්වයක සිට ඇතැම් අවස්ථාවල සියදිවි නසාගන්නට සිතෙන තරමේ දැඩි මානසික තත්වයන් දක්වා වර්ධණය වන අවස්ථා ද තිබේ. සෞඛ්‍ය සම්පන්න ආහාර, නිතර ව්‍යයාම් කිරීම හා ප්‍රමාණවත් නින්දක් ලබාගැනීම තුළින් මෙය සෑහෙන දුරකට මැඩපැවැත්විය හැකිය. නමුත් බරපතළ තත්වයන්හිදී විශේෂ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. සරල ප්‍රතිකාර ක්‍රම ප්‍රමාණවත් නොවන බැව් හැඟෙන්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීම වහා සිදු කළ යුතුය.

5. ඔසප් කාල දෙකක් අතර රුධිර වහනයවීම

අසාමාන්‍ය ගර්භාෂ රුධිර වහනය වශයෙන් ද හැඳින්වෙන මෙය  බහුලව පවතින ඔසප් රෝගයකි. මෙයද වෙනත් රෝගයක ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකි අතර නොසැළිකිය යුතු තත්වයේ සිට බරපතල තත්වයක් දක්වා පැවතිය හැකිය. මෙයට සරල ප්‍රතිකාර නොමැති අතර වෛද්‍ය උපදෙස් පැතීම නොපමාව සිදුකළ යුතුය.

මෙය පහත සඳහන් හේතූන් නිසා ඇතිවන්නට පුළුවන

  • රුධිරය කැටගැසීමේ දෝෂය හෝ එසේ කැටිගැසීම සමනය කිරීම සඳහා ගනු ලබන ඖෂධ
  • ගැබගෙල, යෝනිය හෝ ගර්භාෂයේ ඇති පිළිකා තත්වයක්
  • තයිරොයිඩ් දෝෂ හෝ දියවැඩියාව වැනි නිධන්ගත රෝග
  • උපත් පාලන පෙති හෝ ගර්භනීභාවය නිසා ඇතිවූ ව්‍යාකූල තත්වයන්
  • ශ්‍රෝණි ප්‍රදාහ රෝගය (ප්‍රජනන පද්ධතියේ ආසාදන නිසා ඇතිවේ)
  • හෝමෝන අසමබරතාවය නිසා ඇතිවන බහුකෝෂ්ඨ ඩිම්බ සහලක්ෂණය ( Polycystic ovary syndrome )
  • ගර්භාෂයේ ඇතිවන පිළිකා නොවන ගෙඩි
  • ගර්භාෂයේ ඇතිවන පිළිකා නොවන ගෙඩි

4 comments:

  1. හමිමට සිරි උඹ මෙිවත් දන්නවා එහෙනං ඇ

    ReplyDelete
  2. බොහොම වැදගත් ලිපියක්..ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි

      Delete

මේ ලිපිය හොඳද? ප්‍රයෝජනවත්ද? වැඩක් නැත්ද? විකාරයක් වගේ පේනවද?
ඔබට ඒ ගැන සිතෙන ඕනම අදහසක් මෙහි සටහන් කරන්න.
ඒ ගැන දෙවරක් නොසිතන්න